Hashtag Generation

ව්‍රායි කැලී බල්තසාර් සහ රාසලිංගම් වෙන්නිලා යන අය මාලිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී නැත.

2024 පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය නොවැම්බර් 14 වෙනිදා පැවැත්විණි. එම මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ⅔ ක බහුතර බලයක් ලබාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කරන ලදී. පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණවලට සාපේක්ෂව මෙවර  මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන් වැඩි වශයෙන් තරඟ කරනු දැක ගැනීමට හැකි විය. එම අපේක්ෂිකාවන් අතරින් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේක්ෂිකාවන් පිළිබඳව සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණි. 

එලෙස පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පහතින් දැක්වේ. 

මෙම සටහනේ ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ  කාන්තා අපේක්ෂිකාවන් 12 දෙනෙකු ඇතුළත් කර ඇත. “දියවන්නා යන අපේ කාන්තා නියෝජනයන්” යනුවෙන් සටහනේ සඳහන් කර ඇත. එහි විවිධ දිස්ත්‍රික්කවලින් තරඟ වැදුණු අපේක්ෂිකාවන්ගේ ඡායාරූප සහ මනාප අංකය ද සටහනේ ඇතුළත් වී තිබුණි.

මෙම සටහන්වල නම් ඇතුළත් වී ඇති සියලුම දෙනා පාර්ලිමේන්තුවට තේරී පත් වූවන් ද යන්න ගැටලුවක් මතු විය. තවද මැතිවරණ ප්‍රතිඵල අනුව මෙහි සඳහන් ප්‍රමාණයට වඩා කාන්තාවන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුය. ඒ අනුව මෙම සටහන් පිළිබඳව විමසා බලා කරුණු පැහැදිලි කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මෙම සටහනේ නම් සඳහන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් සහ යාපනය දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස නම් සඳහන් රාසලිංගම් වෙන්නිලා යන අය ⁣මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී නැති බව තහවුරු විය. 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි විය. තවද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ කාන්තා අපේක්ෂිකාවන් 19 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වීම විශේෂත්වයකි.  ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, නිලන්ති කොට්ටහච්චි, ඔෂානි උමංගා, හේමාලි සුජීවා, සාගරිකා අතාවුද, නිලූෂා ලක්මාලි, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වියා, දීප්ති වාසලගේ, හසාරා නයනතාරා ප්‍රේමතිලක, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අම්බිකා සැමුවෙල්, චතුරි ගංගානි, ගීතා රත්නකුමාරි, හිරුණි විජේසිංහ, මුතූ රත්වත්තේ යන අය ජාතික ජන බලවේගයේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයින් වේ. 

එමෙන් ම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්විය. 

ඉහත සමාජ මාධ්‍ය සටහනේ නම් සඳහන් ව්‍රායි කැලී බල්තසාර් සහ රාසලිංගම් වෙන්නිලා යන අය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදුණු නමුත් ඔවුන්ට මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි විය. ඒ අනුව මෙම අපේක්ෂිකාවන් දෙදෙනාද එක් කර ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කාන්තාවන් යන සිරස්තලය සහිතව පළවන සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමග යවයි.

නිගමනය : ව්‍රායි කැලී බල්තසාර් සහ රාසලිංගම් වෙන්නිලා යන අපේක්ෂිකාවන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු නමුත් ජයග්‍රහණය කර නැත. ඒ අනුව ඔවුන්වත් ඇතුළත් කරමින් මාලිමාවෙන් තේරී පත් වූ නියෝජිතයින් ලෙස පළ වූ සටහන මහජනතාව නොමග යනව බව නනිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.