Hashtag Generation

වැලන්ටයින් යෙදෙන’ පෙබරවාරි 14 කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට නිවාඩු දිනයක් ද ?

“කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සියලුම පෞද්ගලික අධ්‍යාපනය ආයතන, පෙබරවාරි 14 වැනිදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරයි” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් ඉකුත් පැය කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය විය. කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නගරාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව පෙබරවාරි 14 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිවල සටහන් සහ ප්‍රවෘත්ති පළ වී තිබිණි.

කල්මුණේ නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ඒ.එම්. රකීබ්ගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ද එම ප්‍රවෘත්තිවල දැක්විණි. හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් විමසීමක් කළේ ය.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි මාපියන්, විවිධ සමාජ සංවිධාන තමා වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඒ සඳහා තමාට පූර්ණ බලතල ඇති බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී නගරාධිපති ඒ.එම්. රකීබ් මහතා පැවැසීය.

මහ නගර සභා ආඥා පනතේ විධිවිධාන අනුව සිය මහ නගර සභා බල ප්‍රදේශය තුළ පෞද්ගලික පන්ති පවත්වාගෙන යාම සදහා කල්මුණේ මහ නගර සභාවෙන් අවසරයක් ලබා ගත යුතු යැයි නගරාධිපතිවරයා තවදුරටත් පැවැසීය.

මහ නගර සභාව බලපත්‍ර ලබා දෙන්නේ නිසි ප්‍රමිතියට අනුව පවත්වාගෙන යන පෞද්ගලික පන්ති සඳහා පමණක් යැයි ද එහිදී සිසු සිසුවියන්ගෙන් අය කරන මුදල, එම පෞද්ගලික පන්තිවල ඇති පහසුකම් යනාදිය නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම බලපත්‍රය ලබාදෙන බව ද නගරාධිපතිවරයා කීය. ඒ අනුව සිය නියෝගයට පටහැණිව යමින් පෙබරවාරි 14 වැනිදා, එනම් අද පෞද්ගලික පන්ති පැවැත්වුවහොත් අදාළ පෞද්ගලික පන්තිවල බලපත්‍රය අහෝසි කරන බව ද නගරාධිපතිවරයා තවදුරටත් පැවැසීය.

හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ධර්මසිරි නානායක්කාර, නීතිඥ ඩී.එම්. දිසානායක, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති අංශ ප්‍රධානි ගයනි ප්‍රේමතිලක යන අයගෙන් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විමසීය. මෙලෙස පෞද්ගලික පන්ති නොපවත්වන්නැයි නියෝග දීමට නගරාධිපතිවරයා කිසිදු බලයක් නොමැති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා මෙසේ කීය.

“මහ නගර සභාවකට ටියුෂන් පන්ති පවත්වාගෙන යාම සඳහා බලපත්‍රය ලබා දිය හැකි බවත් එහි අත්‍යවශ්‍යයෙන්  තිබිය යුතු සහ අවශ්‍ය කරුණු කාරණා සඳහන් කළ හැකියි. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය ලැබීම සඳහා වාතාවරණයක් යන කරුණු එහි සඳහන් කළ හැකියි. කෙසේ වෙතත් ආදරවන්තයන්ගේ දිනයේ දී පන්ති පැවැත්වීම තහනම් කිරීම/වැළැක්වීමට අදාළව කිසිවක් නගර සභාව සම්මත කරගෙන හෝ අනුමත හෝ කරගෙන ඇත්නම් පමණක් අදාළ පෞද්ගලික පන්තිවල බලපත්‍රය අහෝසි කිරීමට නගරාධිපතිවරයාට බලය පවතියි.”

‘තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව’ හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කල්මුණේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.