තේසවලමෙයි නීතිය (Thesawalamai Law) හෙවත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වැසියන්ගේ විවාහය, උරුමය සහ දේපළ කළමනාකරණය සම්බන්ධ කරුණු නියාමනය කරන සාම්ප්‍රදායික නීතිය පිළිබදව වැරදි අර්ථකථනයන් සහ ආඛ්‍යාන සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි. තේසවලමෙයි නීතිය පැවතීම හේතුවෙන් උතුරේ ඇති ඉඩම් දකුණේ ජීවත් වන සිංහල ජනතාවට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එම සටහන්වල අන්තර්ගත වී තිබුණි.
මෙම නීතිය, 1707 දී ඕලන්ද ආණ්ඩුව විසින් සකස් කරනු ලැබූ අතර, අදටත් ශ්‍රී ලංකාවේ නීතිමය වශයෙන් ක්‍රියාත්මක වේ. මෙය පුද්ගලික නීතියක් වන අතර ඉඩමක් අලෙවිකිරීම හෝ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජාතිය මත පදනම් වූ සීමා දැමීමක් සිදු නොකරයි.
තේසවලමෙයි නීතිය යටතේ සිංහල ජනතාවට උතුරේ ඉඩම් මිලදී ගැනීමට නීතිමය බාධාවක් නිර්මාණය කර නැත. එබැවින් මෙය නීතිය ව්‍යාජ ලෙස අර්ථකථනය කිරීමක් වන අතරම මැතිවරණ ව්‍යාපාරයන් සදහා මෙම ව්‍යාජ ආඛ්‍යානය දායක කරගැනීමක්ද නිරීක්ෂණය විය.
1948 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන 1947 අංක 59 දරන තේසවලමෙයි පූර්ව-නිදහස් කිරීමේ ආඥා පනත මගින් තේසවලමෙයි නීතියෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් අතර නිශ්චල දේපළ මිලදී ගැනීමේ කැමැත්තේ අයිතිය පාලනය කරනු ලබයි. එනම් මෙයින් අදහස් කරන්නේ යම් ඉඩමක් සම හිමිකරුවන් කිහිප දෙනෙකුට අයිති නම් ඉන් එක් සම හිමිකරුවෙකු ජනවාර්ගිකත්වය නොසලකා පිටස්තරයෙකුට ඉඩම විකිණීමට පෙර අනෙක් සම හිමිකරුට හෝ සුදුසුකම් ලත් උරුමක්කාරයින්ට තම කොටස පිරිනැමිය යුතු බවයි. කෙසේ වෙතත් මෙම අයිතිය අදාළ වන්නේ නොබෙදුණු දේපල සඳහා පමණි. ඉඩම බෙදී පැහැදිලිව අර්ථ දක්වා ඇති පසු හිමිකරුට එය ඕනෑම අයෙකුට නිදහසේ විකිණීමට හැකියාව ඇත. විශේෂයෙන් ම මෙම නීතිය සිංහල වැනි අනෙකුත් ජනවාර්ගික පුද්ගලයින්ට ඉඩම් විකිණීම තහනම් කිරීමක් සිදු කරන්නේ නැත. මෙය චාරිත්‍රානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සාධාරණ හා විවෘත දේපල ගනුදෙනු සක්‍රීය කිරීම අතර සමබරතාවයක් පිළිබිඹු කරමින් ක්‍රියාත්මක වේ.
තේසවලමෙයි නීතිය පිළිබද වැඩිදුර කියවීම සදහා පිවිසෙන්න: https://www.commonlii.org/lk/legis/consol_act/t73188.pdf