Hashtag Generation

ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගීන් හමු වූ බවට පළවන පුවත් මහජනතාව නොමග යවයි.

චීනයේ මේ වන විට HMPV වෛරසය හෙවත් Human Metapneumovirus පැතිර යන බවට පසුගියදා මාධ්‍ය විසින් අනාවරණය කෙරිණි. මෙම මාධ්‍ය අනාවරණයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ද මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් ගොඩනැගී තිබෙනු දැකගත හැකි විය. විශේෂයෙන් ම කොරෝනා වෛරසයෙන් වසර පහකට පමණ පසුව මෙවැනි වෛරසයක් නැවත පැමිණීම සමාජය තුළ යම් ආකාරයක බියක් ගොඩනැගීමට හේතු වී ඇති බව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී අපට පැහැදිලි විය. 

මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක ජනවාරි  08 එනම් ඊයේ දිනයේදී “ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV රෝගීන් හඳුනා ගැනේ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය වනු දැක ගතහැකි විය. එලෙස පළ වූ ඇතැම් සටහන් තුළ මහාචාර්ය නීලිකා මළවිගේ මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශයක් බවද සඳහන් වී තිබුණි. 

එලෙස පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ. 



මෙවැනි පුවතක් සංසරණය වීම හරහා සමාජය තුළ අනිසි බියක් ඇති විය හැකි බැවින් මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව පළමුවෙන් ම මෙම වෛරස තත්ත්වය පිළිබඳව තොරතුරු විමසා බැලීමට අපි කටයුතු කළෙමු. HMPV වෛරසයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් ජනවාරි 07 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  ලිපියක් නිකුත් කර තිබුණි. මෙය සාමාන්‍ය අසාදන තත්ත්වයක් බව එහි සඳහන්ව තිබුණි. තවද Human Metapneumovirus එහෙමත් නැතිනම් HMPV වයිරසය ලෙස හඳුන්වනු ලබන මෙම වෛරසය සාමාන්‍ය ශ්වසනය මගින් ආසාදනය වන වෛරසයක් බවත් එය ඉතාමත් සාමාන්‍ය වෛරස තත්ත්වයක් බවත් කරුණු අනාවරණය විය. මෙම වෛරසය බොහෝ පුද්ගලයන්ට වයස අවුරුදු 5 ට පෙර වරක් හෝ ආසාදනය වීමට ඉඩ ඇති අතර ජීවිතයේ විවිධ අවස්ථාවලදී නැවත ආසාදනය විය හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. තවද මෙම වෛරස තත්ත්වය ආසාදනය වී ඇති අයෙකුට නිරාවරණය වුවහොත් මෙය ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇත. වැඩිදුර තොරතුරුවලට මෙතැනින් පිවිසෙන්න.

මෙම HMPV වෛරසය වැළඳුන රෝගීන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බව සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අපි ඉන්පසුව අවධානය යොමු කළෙමු. ඒ අනුව මේ ආකාරයේ පුවතක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇත්දැයි විමසා බැලුණු අතර HMPV වැළඳුණු රෝගීන් සම්බන්ධ පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර නොතිබුණි. තවද “වෛරසයට බය වෙන්න එපා – HMPV වෛරසය මීට පෙර මෙරටින් වාර්තා වූ සාමාන්‍ය වෛරසයක්” යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණි.


තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට අපි ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් විමසීමක් කළෙමු. මේ සම්බන්ධයෙන් තවම අධ්‍යනය කරමින් පසුවන බවත් මෙතෙක් එවැනි තත්ත්වයක් අනාවරණය වී නොමැති බවත් එහිදී ඔවුහූ පැවසූහ. 

තවද ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශ බව සඳහන්ව තිබූ නිසා ඇය මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි විමසා බැලිණි.

එහිදී අපට HMPV වෛරසය සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මළවිගේ මහත්මිය විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවක් හමු විය. 

HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජය තුළ අනවශ්‍ය බියක් තැතිගැන්මක් ඇති බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට තීරණය කළ බව මාධ්‍ය සාකච්ඡාවේදී ඇය පැවසීය. මෙම HMPV වෛරසයට බිය වීමට අවශ්‍ය නොවන බවත් මෙය වසර 20 ක් තිස්සේ ලෝකයේ විවිධ රටවල පැවති බවත් ඇය මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ද වරින් වර මෙම වෛරස තත්ත්වය මතුව ඇති බවද පැවසීය. මෙම වෛරස තත්ත්වය ශ්වසනය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාවේ ශීත කාලයක් නොමැති වුවත් ලෝකයේ අනෙක් රටවල මේ වන විට පවතින්නේ ශීත කාලය බැවින් මෙවැනි ආසාදන තත්ත්ව පැතිර යා හැකි බව ද ඇය පැවසීය. ශ්‍රී ලංකාවේ පර්යේෂණවලින් 2023 දී ලංකාවේ මෙම වෛරසය තිබූ බව ද 2023 දෙසැම්බර්වලදී එය ජාන විශ්ලේෂණයට ලක් කර තිබූ බවද ඇය මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දුන්නාය. ඊට අමතරව 2024 ජනවාරි වලදී මහනුවර රෝහලේ වෛරස සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අතීකා අක්‍රම් මහත්මියද මෙම වෛරසය ඇති රෝගීන් හඳුනාගෙන තිබූ බවත් මෙය ලංකාවටද අලුත් තත්ත්වයක් නොවන බවත් මහාචාර්යවරිය පැහැදිලි කළාය. මෙම වෛරසය කාලෙන් කාලෙට මතුවන සාමාන්‍ය තත්ත්වයක් බවද ඇය පැවසීය. මාහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ කතාවට මෙතැනින් පිවිසෙන්න.

තවද ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් “මහනුවරින් රෝගීන් කිහිපදෙනෙකු හඳුනාගත්තා” යන ප්‍රකාශයට 2024 වර්ෂයේ මහනුවරින් හඳුනා ගත් බව සඳහන් කරමින් මහාචාර්යවරිය කළ ප්‍රකාශය හේතු වී ඇති බව පැහැදිලිය. ඇතැම් සමාජ මාධ්‍ය සටහන් එම ප්‍රකාශය වැරදියට භාවිතා කරමින් නොමග යවන සුළු සටහන් නිර්මාණය කර ඇත.

එමෙන් ම ඇය මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට HMPV ආසාදිත රොගීන් හඳුනා ගත් බවට ප්‍රකාශයක් සිදු නොකරයි. වැඩිදුරටත් ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමට අපි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් ද විමසීමක් කළෙමු. ඇය එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය ඒවා බවත් ඇය අප වෙත පැවසීය. 

එමෙන් ම චීනයේ මෙම වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සිය X ගිණුමට සටහනක් එක්කර තිබුණි.

මෙම වෛරස තත්ත්වය ශීත ඍතුවේදී බහුලව දක්නට ලැබෙන බවත් එය නව වෛරසයක් හෝ වසංගත තත්ත්වයක් නොවන බවත් ඔහු X පණිවුඩයේ දක්වා තිබුණි. එමෙන් ම HMPV වෛරස තත්ත්වය සතියක් වැනි කාලයක් තුළ සුව වන බවත් කුඩා දරුවන්,වැඩිහිටියන් සහ වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේසම් වීම වඩාත් වැදගත් බවත් ඔහු සිය X සටහනේ දක්වා තිබුණි. 

ඒ අනුව HMPV වෛරසය ආසාදනය වූ රෝගීන් ප්‍රථම වරට මෙරටින් සොයාගත් බව සඳහන් කරමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවන බව පැහැදිලිය.

නිගමනය : HMPV ආසාදන තත්ත්වය නව වෛරස තත්ත්වයක් නොවන බවත් මීට පෙරද මෙම වෛරස තත්ත්වය පැවත ඇති බවත් කරුණු මඟින් තහවුරු විය. ඒ අනුව HMPV වෛරසය වැළඳුණු රෝගීන් මෙරටින් ප්‍රථමවරට හමු වූ බව සඳහන් සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.