Hashtag Generation

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම 2021, 2022, 2023 යන වර්ෂවල ඉපදුන දරුවන්ට නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවාද?

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ 2021, 2022, 2023 යන වර්ෂවල උපත ලැබූ දරුවන් සඳහා නව උප්පැන්න සහතිකයක් නිකුත් කරන බවට සමාජ මාධ්‍ය තුළ පණිවුඩයක් සංසරණය වන බව හෑෂ්ටැග් පරපුරට නිරීක්ෂණය විය. නමුත් එම ක්‍රියාවලිය පිලිබඳ කිසිඳු පැහැදිලි තොරතුරක් නොමැතිකම හේතුවෙන් බොහෝ පිරිසක්  ප්‍රාදේශීය ලේකම්  කාර්යාල වෙත ගොස් ඇති බවද දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පණිවුඩයේ තිර ජායාරූපයක් පහතින් දැක්වේ.

(ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි 2021, 2022, 2023 යන වර්ෂවල ඉපදුන දරුවන් සදහා නව උප්පැන්නයක් ලබා දෙන බවට පණිවුඩ සංසරණය වී තිබිණි. මෙම පණිවුඩයේ සඳහන් වී තිබෙන්නේ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය වෙත ගොස් එම නව සහතිකය ලබා  ගන්නා ලෙසයි. මෙහි  භාෂා ද ද්විත්වයකින් තොරතුරු සඳහන් කර ඇති බවද එහි දක්වා ඇති අතර  දරුවාට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ අංකයක්ද  මේ සමඟ ලැබෙන බවට සඳහන් කර තිබිණි. මෙම  සහතිකය නොමිලේ  නිකුත් කරන බවද එහි වැඩි දුරටත් දක්වා ඇත.)

මෙවැනි නිවේදන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග අප මේ සම්බන්ධයෙන් තොරතුරු පරික්ෂා කිරීමට තීරණය කරන ලදී.. එහිදී අපට දැක ගැනීමට හැකි  වුයේ 2021 වසරේ දෙසැම්බර් මස කැබිනට් මණ්ඩලය විසින් දරුවන්ට උපතේදී උප්පැන්න සහතිකය සමඟ විශේෂීය අංකයක් ලබා දීමට කරන ලද යෝජනාවක් සම්මත වූ බවයි. නමුත් එම යෝජනාව ක්‍රියාත්මක වූ බවක් ඉන් පසු වාර්තා වී නොතිබුණි.

මෑතක දී ප්‍රධාන මාධ්‍ය ධාරාවක මේ සම්බන්ධයෙන් පළ වූ කිසිදු තොරතුරක් හමු  නොවූ අතර අප ඉන් පසුව සිදු කරනු  ලැබුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තුළ මෙවැනි නිවේදනයක් සම්බන්ධයෙන් පළ කිරීමක් ඇත්ද යන්න සොයා බැලීමයි. නමුත් එවැනි නිවේදනයක් වෙබ් අඩවිය තුළද නොවීය. 

අප රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුමක් ලබා ගත් අතර එහි අතිරේක ලේකම්තුමිය අප හා සම්බන්ධ විය.

එතුමිය මෙය සත්‍ය කරුණක් බවට තහවුරු කළ නමුත් ඇය තව දුරටත් පවසා සිටියේ මෙය දැනට මුළු  රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක නොවන බවයි. ඇය පවසා සිටියේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාතමක කරනබවයි. ඉදිරි දිනකදී මේ පිළිබඳව වැඩි විස්තර මාධ්‍යහරහා දැනුවත් කරන බවද ඇය පවසා සිටියේය.

පසුව අප කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගකිව යුතු නිලධාරියෙකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසු අතර කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් M.D.I. ගුණවර්ධණ මහත්මිය අපට දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකි විය.

ඇය පවසා සිටියේ මෙම වැඩසටහන දැනට කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි. මෙය භාෂා ද්විත්වයකින් නිකුත් කරන උප්පැන්න සහතිකයක් බවටත් ඇය විසින් තහවුරු කරන ලදී.

මෙහිදී PIN Number (යොමු අංකයක්) ලබා දෙන බවත් එම අංකය අදාළ දරුවාගේ ජාතික හැදුනුම්පත් අංකය වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. කළුතර දිස්ත්‍රික්කයේ 2021, 2022, 2023 යන වර්ෂවල උපත ලැබූ දරුවන්ගේ උප්පැන්න සහතික කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අද (2024/07/12) සිට ලබා ගත හැකි බවටත් ඇය තව දුරටත් පවසා සිටියේය.

මෙම නව උප්පැන්න සහතිකය ලබා දීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල විශේෂ ලිපියක්ද අප වෙත ලැබිණි. එම ලිපිය පහතින් දැක්වේ.

තවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක්ද අප වෙත ලැබිණි. එයද පහතින් දැක්වේ.

නිගමනය : 2021, 2022, 2023 යන වර්ෂ වල උපත ලද දරුවන්ට නව උප්පැන්න සහතිකයක් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ලබා දීම සිදු වන්නේ නැත. එය දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පමණ යි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.