Hashtag Generation

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පසුගිය 15 වැනිදා පැවැත්විණි.   මේ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඈඳා ගනිමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවල විවිධ පුවත් සහ කතාබහ ඇති වී තිබිණි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවු ද, පක්ෂයේ ඉදිරි පියවර මොනවාද, සහ පක්ෂයේ ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් විශේෂයෙන් කතාබහ ඇති වී තිබිණි. මේ අතරම පොදුජන පෙරමුණේ සම්මේලනය, පක්ෂ සාමාජිකයන් සහ පාක්ෂිකයන් විවේචනය කිරීම් මෙන්ම උපහාස ද දක්නට ලැබිණි. 

මේ කතාබහ අතරවාරයේ දී ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා යනුවෙන් කතාබහක් ඇති වී තිබූ අතර සමාජ මාධ්‍ය තුළ එවැනි අදහස් ඇති පෝස්ට්ස් (Posts) සංසරණය වන ආකාරයක් ද දක්නට ලැබිණි. 

ඒවායේ තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්.ටී Daily FT පුවත්පත ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. එම පුවත්පත දෙසැම්බර් 19 වැනිදා ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස එය පළ කර තිබිණි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව පත් කිරීමට සූදානමක් පවතින බව එම ප්‍රවෘත්තියේ ද සඳහන්ව තිබිණි. 

Daily FT පුවත්පතේ පළ වූ ලිපියේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

DailyFT පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියට මෙතැනින්  පිවිසෙන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ⁣නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ අතර එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබඳ කිසිවක් මෑතකදී එහි පළ කර නොතිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද මෙවැනි පුවතක් සම්බන්ධව කිසිඳු තොරතුරක් සඳහන් වී ඇත්දැයි සොයා බැලූ අතර එහි ද එවන්නක් නොවීය. 

පොදුජන පෙරමුණේ මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව යම් ඉඟියක් හෝ තොරතුරක් හෝ  පසුගියදා පැවති පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ වී ඇත්දැයි සොයා බැලූ අතර එහි එවැන්නක් නොවීය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

කෙසේ නමුත් මව්රට වෙබ් අඩවිය ද මෙවැනි ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. 

මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගර කාරියවසම් මහතාගෙන් විමසීමක් කළේය. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස තවම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කර නොමැති බව හෑෂ්ටැග් පරපුර කළ විමසීමේ දී කාරියවසම් මහතා පැවැසීය. 

තම පක්ෂය තුළ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ඇති  අපේක්ෂකයන් කිහිපදෙනකුම සිටින බවත් ඒ අතරින් ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් ද යන්න තවමත් තීරණය කර නොමැති බවත් ඔහු කීවේ ය. 

ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධව දිනයක් හෝ කාලයක් හෝ ප්‍රකාශයට පත් කළ පසු තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන වග ප්‍රකාශයට පත් කරන බව සාගර කාරියවසම් මහතා තවදුරටත් කීය. 

එමෙන්ම මෙම පුවත සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා මහතා  දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ විය.

නිගමනය: ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කර නොමැති අතර එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් අයකු හෝ මෙතෙක් නම් කර නොමැති බවත් තහවුරු කළ හැකි ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කළේ ය. 

හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.