Hashtag Generation

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පාක්ෂිකයන්ගේ විදුලි බිල්පත් සනත් නිශාන්ත පදනම මගින් ගෙව‌ා දමන බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය යි.

“අඩු ආදායම්ලාභී ඔබගේ විදුලි බිලට සහනයක්” යනුවෙන් සදහන් කරමින්, පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී  පාක්ෂිකයන්ගේ විදුලි බිල සනත් නිශාන්ත පදනමින් ගෙව‌ා දමන බවට ඉකුත් දිනවල ‌ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ සටහන් (Facebook posts) සංසරණය විය.  සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් උපහාසාත්මක ස්වරූපයක් ගත්තද, මේ පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් වන Dailymirror පුවත්පතේ වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් ලෙස පළ වී තිබිණි. එබැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව කරුණු පරීක්ෂා කිරීමට තීරණය කළෙමු.

අඩු ආදායම්ලාභී ඔබගේ විදුලි බිලට සහනයක්” යනුවෙන් සදහන් කරමින්, පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පාක්ෂිකයන්ගේ විදුලි බිල සනත් නිශාන්ත පදනමින් ගෙව‌ා දමන බවට ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සදහා වැය වූ විදුලි බිල්පත පියවීමට කටයුතු කර තිබිණි. 

ඒ සමඟ “අඩු ආදායම්ලාභී ඔබගේ විදුලි බිලට සහනයක්” යනුවෙන් දක්වමින්, පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පාක්ෂිකයන්ගේ විදුලි බිල සනත් නිශාන්ත පදනමින් ගෙව‌ා දමන බවට සඳහන් සටහන් (Posts) ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය විය. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේ පුවත්පතක් වන Dailymirror  පුවත්පතේ වෙබ් අඩවිය ද එම පුවත  වාර්තා කර තිබුණි.

Dailymirror පුවත්පතේ වෙබ් අඩවියේ අදාළ ප්‍රවෘත්තියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඒ අනුව අප මේ පිළිබදව කරුණු විමසා බැලීය. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි සොයා බැලීම සඳහා මුලින්ම ඔහුගේ නිල ෆේස්බුක් පිටුවට ගොස් එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි සොයා බැලූ අතර ඔහු එවන්නක් කර ඇති බවට කිසිදු සටහනක් එහි නොතිබිණි. 

මේ පිළිබදව තවදුරටත් කරුණු විමසා බැලීමට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවතාවක් උත්සහ කළ ද එය ව්‍යර්ථ විය. ඉන් පසුව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා දුරකථනයට සම්බන්ධ කර ගනු ලැබිණි. 

මේ පිළිබද සියලු තොරතුරු 2023 ඔක්තෝම්බර් 08 වන ඉරිදා පළ වූ ලංකාදීප පුවත්පතේ පළ වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවැසීය.

ඉරිදා ලංකාදීප පුවත්පත සනත් නිශාන්ත මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කර තිබූ අතර එහි තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ. 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මහජනතාවගේ විදුලි බිල් ගෙවීම සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට පළ කර ඇති අදහස පහත උපුටා දක්වා ඇත.

“මිනිසුන්ගේ ලයිට් බිල් මට ගෙවන්න බෑනේ. ලංකාවේ සියලුම දෙනා යුද්ධයට පපුව තියන්න ගියෙත් නෑ. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන නායකයා. මහින්ද රාජපක්ෂ කියන නායකයයි, ලංකාවේ සාමාන්‍ය පුරවැසියයි අතර ලොකු වෙනසක් තියෙනවා. කාටහරි හිතෙනවා නම් මහින්ද මහත්තයයි සාමාන්‍ය පුරවැසියයි එක්කෙනෙක් කියලා ඒක වැරැදියි. එහෙම එකක් නෑ.” 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කළ ඉහත ප්‍රකාශය අනුව ඔහු සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් හෝ ප්‍රකාශයක් හෝ කර නැති බව පැහැදිලි වෙයි. 

නිගමනය: මේ අනුව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඩු ආදායම්ලාභී පාක්ෂිකයන්ගේ හෝ මහජනතාවගේ හෝ විදුලි බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර හෝ එසේ බිල්පත් ගෙවීමට හෝ ඉදිරිපත් වී නැති බව නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.