Hashtag Generation

ශ්‍රී ලංකා පොලිසිය නිදහස් දින සැමරුම් පුහුණුවීම්වලින් ඉවත් වුණා ද ?

ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය  පෙබරවාරි 4 වෙනිදාට පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම්වලින් ඉවත්ව වී ඇති බවට ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි.   

“පෙරහුරුවේදී කලකිරී පොලිසිය ආපසු හැරෙයි” යන සිරස්තලය යටතේ පෙබරවාරි 1 වැනිදා, බ්‍රහස්පතින්දා පළ වූ දිවයින පුවත්පත එය වාර්තා කර තිබිණි. 

ජනවාරි 31 වැනිදාට යොදාගෙන තිබූ පරිදි වැඩ කටයුතු සිදු නොවූ නිසා ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පුහුණුවීම්වලින් ඉවත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් පැවැසීය. 

අවශ්‍ය පරිදි සහ යොදාගත් පරිදි වැඩ කටයුතු සිදු නොවීම නිසා නිලධාරීන්ව වෙහෙසට පත් නොකොට ඊයේ (ජනවාරි 31) දිනයේ දී පමණක් ඔවුන් පුහුණුවීම් වලින් ඉවත් වූ බවත් අද (පෙබරවාරි 1) දිනයේ සුපුරුදු පරිදි පුහුණුවීම් කටයුතුවල නියැළෙන බවත් තල්දූව මහතා කීවේ ය. 

නිදහස් උළෙලට ජනාධිපතිවරයා පැමිණෙ රථය දෙපස ගමන් ගන්නා පොලිස් අශ්වාරෝහකයන් ඉවත්කර ඒ වෙනුවට යුද හමුදා යතුරුපැදි ඒකකය යෙදවීමට තීරණය කළ නිසා පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය පුහුණුවීම්වලින් ඉවත්ව ඇති බව දිවයින පුවත්  වාර්තාවේ සඳහන් විය.

දිවයින පුවත් වාර්තාවේ සිරස්තලයේ “පෙරහුරුවේදී කලකිරී පොලිසිය ආපසු හැරෙයි” යනුවෙන් සඳහන් ව තිබුණු අතර මතභේදාත්මක තත්ත්වයක් මත මෙලෙස පොලිසිය ඉවත් වූ බවත් මතභේදාත්මක තත්ත්වය නිරාකරණය වීමෙන් පසු  පොලිසිය නැවත පුහුණුවීම්වලට එක් වූ බවත් පුවත් වාර්තාවේ ඇතුළත සඳහන්ව තිබිණි. . මෙතැනින්, මෙතැනින් 

අදාළ පුවත් වාර්තාවේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මේ සම්බන්ධයෙන් ද විමසීය. 

නිදහස් දින සැමරුම් උත්සව ක්‍රියාවලියේදී පොලිස් අශ්වාරෝහකයන් යොදවනවා ද  යුද හමුදා යතුරු පැදි යොදවනවාද යන්න නිශ්චිතව තහවුරු වී නොතිබීම නිසා  ඊයේ (ජනවාරි 31) පුහුණුවීම් සිදු නොවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.  මෙවැනි අවස්ථාවලදී  අශ්වයන් පුහුණු කිරීම වැනි කාර්ය සිදු නොකරන බවත් ඒ අනුව එම පුහුණුවීම් තාවකාලිකව නවතා දැමූ බවත් තල්දූව මහතා පැවැසීය. 

නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම්වලින් පොලිසිය ඉවත් වීමට තවත් කරුණු කිහිපයක් ද හේතු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම කරුණු මොනවාදැයි විමසුව ද ඊට නිශ්චිත පිළිතුරක් නොලැබිණි. 

නිදහස් දින සැමරුම් උත්සවයට අදාළ  ක්‍රියාවලිය තුළ සිදුවන සෑම දෙයක්ම සාකච්ඡා කර ඒවාට නිසි අනුමැතිය ලැබුණු පසු ව සිදුවන බව ද තල්දූව මහතා කීවේ ය.. 

නිගමනය : මතභේදාත්මක තත්ත්වයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය නිදහස් දින සැමරුම් උත්සවයේ පුහුණුවීම්වලින් ඉවත් වූ බවට ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළ අතර ඒ අනුව දිවයින ප්‍රවෘත්තිය නිවැරැදි විය. දිවයින ප්‍රවෘත්තියේ පළ ව ඇති හේතුවට අමතරව තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ජනවාරි 31 වැනිදා  පුහුණුවීම්වලින් ඉවත් වූ බවත් ඔවුන් ඊයේ(පෙබරවාරි 1) නැවත පුහුණුවීම්වලට එක් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.