Hashtag Generation

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නෝට්ටුවක් නිකුත් කර නැත.

වර්තමාන  මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ලබන වසර (2024) සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට මහජනතාවට සහන රැසක් දෙන්නේ යැයි අයවැය කතාවේ සඳහන්ව තිබිණි. 

අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති ව තිබිණි.  ඒ අතරවාරයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළ බව සඳහන් කරමින් නොවැම්බර් 15 වැනිදා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල කතාබහක් ඇති ව තිබිණි. 

එලෙස සංසරණය වූ ෆේස්බුක් සටහන් (Facebook Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

  

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම මුදල් නෝට්ටුව සංසරණයට යොමු කරන බව සමාජ මාධ්‍ය සටහන්වල දැක්විණි. 

මෙම මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති ව තිබූ නිසා  හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට තීරණය කළේය.

මෙම ෆේස්බුක් සටහන්වල දැක්වෙන මුදල් නෝට්ටුව බැලූ බැල්මට සංස්කරණය කරන ලද එකක් බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

එහිදී ප්‍රථමයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වූ මුදල් නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද යන්න විමසා බැලීය.  මෙම නෝට්ටුව නිකුත් කර ඇති දිනය ලෙස 2023.11.15 දැක්වේ. ඒ අනුව එහි තිබිය යුත්තේ වත්මන් මුදල් අමාත්‍යවරයාගේ අත්සන වුව ද එහි ඇත්තේ ජනාධිපති, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල අත්සන නොවන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ය. 

එමෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිකුත් කරන නෝට්ටුවක ආරක්ෂණ ලකුණු තිබේ. ඒ අනුව මේ නෝට්ටුවේ ඒවා තිබේදැයි අපි නිරීක්ෂණය කළෙමු. විශේෂයෙන් ම නෝට්ටුවක් හඳුනාගැනීම සඳහා එහි දිය සලකුණ අතිශය වැදගත් වෙයි. එක් එක් නෝට්ටුවේ මුහුණත දකුණු පස සහ  ඒ ඒ නෝට්ටුවට අදාළව දක්වා ඇති පක්ෂීන්ගේ රූප දිය සලකුණ ලෙස දැක්විය හැකිය.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන්වල ඇති මුදල් නෝට්ටුවේ පැහැදිලිව දිය සලකුණ දිස් නොවේ. එමෙන්ම නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත්, වටිනාකම වැඩිවන පිළිවෙලට නෝට්ටු මත තබා ඇත. දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනාගැනීම පහසු කිරීම සඳහා ඒවා මුදල් නෝට්ටුවලට යොදා ඇත. 

. ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන මුදල් නෝට්ටුවල තබා ඇති මුද්‍රිත තිත් සංඛ්‍යාව පහත තිර ඡායාරූපයෙන් දැක්වේ.

ඒ අනුව රුපියල් විස්සේ නෝට්ටුවේ එක තිතක් ද, රුපියල් පනහ නෝට්ටුවේ තිත් 2ක්, ද, රුපියල් සියයේ නෝට්ටුවේ තිත් 3ක් ද, රුපියල් පන්සියයේ නෝට්ටුවේ තිත් 4ක් ද, රුපියල් දහසේ නෝට්ටුවේ තිත් 5ක් ද රුපියල් පන්දහසේ නෝට්ටුවේ තිත් 6 ක් ද දක්වා ඇත. 

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රුපියල් දසදහස යැයි සදහන් මුදල් නෝට්ටුවේ තිත් 7 ක් දක්වා තිබීම තවදුරටත් මේ පිළිබදව කරුණු නිරීක්ෂණය කර බැලීමට හේතු විය.

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීමට වැඩිදුර විස්තර සඳහා මෙතැනින් සහ මුදල් නෝට්ටුවල ආරක්ෂණ සලකුණු පිළිබද වැඩිදුර තොරතුරු සදහා මෙතැනින් පිවිසෙන්න.

තවද මෙලෙස මහ බැංකුව විසින් නිකුත් කරන ලද යැයි සඳහන් දසදහසේ මුදල් නෝට්ටුවේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් පිටුව නිරීක්ෂණය කළේය. එහි අලුත් නෝට්ටුවක් නිකුත් වූ බවට කිසිදු තොරතුරක් සඳහන් වී නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

තවදුරටත් මේ පිළිබඳව කරුණු පරීක්ෂාකර බැලීම සඳහා අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළේය. මේ වන තෙක් රුපියල් 10,000 ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අප කළ විමසීමේදී තහවුරු කළේ ය. රුපියල් 10,000 වටිනාකමකින් යුත් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර නැති බවත් එලෙස සංසරණය වන සටහන් ව්‍යාජ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.  ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 

එමෙන්ම ඉහත දැක්වෙන ෆේස්බුක් සටහන්වලට භාවිත කර ඇත්තේ රොයිටර්ස් (Reuters) පුවත් සේවයේ පළ වූ ඡායාරූපයක් යැයි නිගමනය කළ හැකි ය. එම ඡායාරූපය පහතින් දැක්වේ. 

නිගමනය : ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 10,000 ක මුදල් නෝට්ටුවක් නිකුත් කර නොමැත. මේ දිනවල ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රුපියල් 10,000 ක  මුදල් නෝට්ටුවක ඡායාරූපය ඇතුළත් සටහන් ව්‍යාජ සටහන් බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.