Hashtag Generation

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ධූරයෙන් H.M.M. හරීස් මහතා ඉවත් කර ඇති බවට පළවන පුවත් මහජනතාව නොමග යවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ධූරයෙන් හා උත්තරීතර මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී H.M.M. හරීස් මහතාව ඉවත් කර ඇති බව සඳහන් කරමින් පුවතක් පසුගිය අගෝස්තු 20 වෙනිදා සිරස News 1st  දහවල් පුවත් විකාශය තුළ විකාශනය විය.

“ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී H.M.M. හරීස් මහතාව ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිස්සාම් කාරියප්පර් මහතා පැවසුවේ ජනාධිපතිවරණයට අදාළ පක්ෂයේ තීරණයකට අනුගත නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. H.M.M. හරීස් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ද ඉවත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.” යනුවෙන් පුවතේ සඳහන් වී තිබුණි.

ප්‍රවෘත්ති විකාශය තුළ එලෙස සඳහන් වී තිබුණ ද H.M.M. හරීස් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපිය තුළ ඔහුව ඉවත් කළ බවක් සඳහන් වී නොතිබුණි. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් H.M.M. හරීස් මහතා සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

   

පක්ෂයේ විනය සහ ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥා කඩකිරීම හේතුවෙන් නිලධාරී සාමාජිකත්වය අත්හිටුවන බවත් එම අතපසුවීම් සඳහා වලංගු සහ පිළිගත හැකි හේතු සතියක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසත් ලිපියේ සඳහන් ය.

ප්‍රවෘත්ති විකාශයේ සදහන් පුවත සහ මෙම ලිපිය අතර පරස්පරතාවයක් පවතින බැවින් මෙහි කරුණු පරීක්ෂා කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිස්සාම් කාරියප්පර් මහතාගෙන් විමසීමක් කළේය. H.M.M. හරීස් මහතාව පක්ෂයෙන් හෝ තනතුරුවලින් ඉවත් කර නොමැති බවත් තාවකාලිකව තනතුරුවල සාමාජිකත්වය අත්හිටුවා ඇති බවත් ඒ මහතා පැවසීය. H.M.M. හරීස් මහතාට ඔහුගෙන් සිදු වූ අතපසුවීම්වලට සාධාරණ හේතු දැක්වීම සඳහා සතියක කාලයක් ලබා දුන් බවත් එතෙක් ඔහුගේ තනතුරු සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නිගමනය : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී H.M.M. හරීස් මහතාව පක්ෂයෙන් හෝ තනතුරුවලින් ඉවත් කර නොමැති අතර ඔහුගේ තනතුරුවල සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව එම පක්ෂයේ ලේකම්වරයා තහවුරු තළේය. ඒ් අනුව H.M.M. හරීස් මහතාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් කර ඇති බවට පළවන පුවත් මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකිය.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.