Hashtag Generation

ශාක ආහාරයට ගන්නා විශාල සත්ත්වයාගේ වීඩියෝව ශ්‍රී ලංකාවේ එකක් නොවේ.

විශාල සත්ත්වයකු ජලාශයක තණකොළ කමින් සිටින වීඩියෝවක් පසුගිය දෙසැම්බර් මාසයේ 12 වෙනිදා ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මෙම වීඩියෝවේ පසුබිමෙන්  කාන්තාවන් ඇතුළු පිරිසක් සිංහල බසින් කෑ ගසන හඬක් ඇසෙන නිසා එම වීඩියෝව ශ්‍රී ලංකාවේ මිරිදිය ජලාශයකට පැමිණි විශාල සත්ත්වයෙකුගේ වීඩියෝවක් යැයි සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වී තිබුණි. මේ සත්ත්වයා කවුදැයි දැනගැනීමේ කුතුහලය ද සහිතව මෙම වීඩියෝව ෆේස්බුක් ඇතුළු (Facebook ) සමාජ මාධ්‍ය පුරා සංසරණය වී තිබෙනු දක්නට ලැබිණි.

එලෙස සංසරණය වූ වීඩියෝ සඳහා මෙතැනින්, මෙතැනින්, මෙතැනින් පිවිසෙන්න. එමෙන්ම ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.

 

 

සමාජ මාධ්‍ය තුළ  මෙම වීඩියෝව පිළිබඳව කතාබහට ලක් වූ නිසාත්, සංසරණය වූ නිසාත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබදව කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

විශාල සත්ත්වයෙකු සිටින මෙම වීඩියෝවේ රූප රාමු කිහිපයක් Reverse Image ක්‍රමය මාර්ගයෙන් පරීක්ෂා කර බැලීය. එහිදී මෙම වීඩියෝව වසර කිහිපයකට පෙර මෙන්ම පසුගිය කාලයේ දී ද රටවල් කිහිපයකට අයත් යූ ටියුබ් (Youtube) නාලිකාවල සහ ෆේස්බුක් (Facebook) තුළ පළ වී තිබුණි.  එලෙස පළ වී තිබුණු වීඩියෝ සඳහා මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් පිවිසෙන්න.

මෙම වීඩියෝවේ සිටින්නේ ට්‍රයිචෙචස් (Trichechus) නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන සයිරේනියා (Sirenia) නම් සත්ත්ව කුලකයට අයත් මැනටීස් (Manatees) නම් ජලජ ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයෙකි. මෙම සත්ත්වයාගේ ශරීර ප්‍රමාණය අඩි 8 සිට 13 දක්වා විහිද යන අතර ආයු කාලය අවුරුදු 40ක් පමණ වේ. අධික ආහාර රුචියක් සහිත මෙම මැනටීස් සත්ත්වයා දිනකට පැය 8 ට වඩා වැඩි කාලයක් තෘණ ආහාරයට ගැනීම සඳහා වැය කරයි. මැනටීස් සත්ත්ව විශේෂ තුනක් සිටින අතර ඔවුන් ජීවත්වන ස්ථාන අනුව වෙන්කර හඳුනා ගැනීමට හැකියාව ඇත. බටහිර ඉන්දීය මැනටීස් (වෙස්ට් ඉන්දියන් මැනටී – West Indian Manatee) උතුරු ඇමරිකානු නැගෙනහිර වෙරළ තීරය තුළ සහ ෆ්ලොරිඩාවේ සිට බ්‍රසීලය දක්වා කොටස තුළ දැක ගත හැකි අතර ඇමෝසෝනියන් මැනටී (Amazonian  Manatee) විශේෂය ඇමසන් ගඟේ වාසය කරයි. අප්‍රිකානු මැනටී (African Manatee) අප්‍රිකානු බටහිර වෙරළ තීරයේ සහ අප්‍රිකාවේ ගංඟා ආශ්‍රිතව දැක ගත හැකිය. මෙම ජීවීන් කොට්ඨාසය වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබීම නිසා පසුගිය කාල සීමාව තුළ සංඛ්‍යාත්මකව විශාල වශයෙන් අඩු වීමක් සිදු වී ඇති බව වාර්තා වේ. මැනටී සත්ත්වයා පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මෙතැනින්, මෙතැනින් පිවිසෙන්න.

මෙම මැනටී නම් සත්ත්ව විශේෂ ශ්‍රී ලංකවේ කරදිය හා මිරිදිය ආශ්‍රිතව හඳුනාගත නොහැකි අතර මේ හා සමානකමකින් යුත්  සයිරේනියා (Sirenia)  සත්ත්ව කුලකයේ ඩියුගොන්ග්ස් (Dugongs) නම් සත්ත්ව විශේෂයක් ඉන්දියානු සහ ශාන්තිකර (පැසිෆික්) සාගර ආශ්‍රිතව සිටින බවට හඳුනාගෙන ඇත. Dugongs සත්ත්ව විශේෂය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය අසත්‍යතාවය මෙන් ම මෙම සත්ත්ව විශේෂය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේය. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ සිටින මැනටී නම් සත්ත්වයා ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන බවත් එම වීඩියෝව සංස්කරණය කරන ලද එකක් වියහැකි බවත් ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ මුහුදේ දැක්නට ලැබෙන්නේ Dugongs (මුහුදු ඌරා) පමණක් වන අතර මැනටී ශ්‍රී ලංකාව ආශ්‍රිතව දක්නට නොලැබෙන බවත් ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ සිටින්නේ මැනටී නම් සත්ත්ව විශේෂය වන අතර එම වීඩියෝව මීට පෙර වෙනත් රටවල සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වී ඇත. කාන්තාවන් ඇතුළු පිරිසක් සිංහල බසින් කෑගසන හඬ එම වීඩියෝවට පසුව එකතු කරන ලද ඒවා බව මුල් වීඩියෝව එකතු හඬ පටයක් සංස්කරණය කොට එක් කර ඇති බව එහි මුල් වීඩියෝව නිරීක්ෂණය කිරීම තුළින් පැහැදිලි වේ.

නිගමනය : සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ  ශාක ආහාරයට ගන්නාවිශාල සත්ත්වයා  ශ්‍රී ලංකාවට ආවේණික නොවන මැනටී (Manatee) නම් සත්ත්ව විශේෂය යි.  එම වීඩියෝව මීට පෙර වෙනත් රටවල ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකාවල සංසරණය වී ඇත. එමෙන් ම පසුබිමෙන් ඇසෙන කාන්තාවන් ඇතුළු පිරිසක් සිංහල බසින් කෑගසන හඬ වීඩියෝවට පසුව එක් කරමින් සංසරණය කරන ලද ඒවා ය. මුල් වීඩියෝවල එවැනි කිසිදු හඬක් නොඇසෙන අතර විශේෂයෙන්ම කිසිදු සිංහල බසින් කෑගසන හඬක් ඇසෙන්නේ නැත. ඒ අනුව මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ සිටින සත්ත්ව විශේෂයක වීඩියෝවක් නොවන බවත් එය වෙනත් රටක පටිගත කරන ලද වීඩියෝවක් බවත් නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.