Hashtag Generation

සැප්තැම්බර් මාසයේ දී පමණක් බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ සිද්ධි 168ක් පිළිබදව වාර්තා වෙලාද?

මෙරට වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් දූෂණයට පත් වූ සිදුවීම් 168ක් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී පමණක් වාර්තා වී ඇතැයි කියන පුවත් රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබිණි. එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉරාන් වික්‍රමරත්න සහ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. 

මේ සම්බන්ධව ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.

   

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්ද මහත්මිය යන අය මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැක් වූ අදහස් සඳහා පිළිවෙළින් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් පිවිසෙන්න. 

සැප්තැම්බර් මාසයේ දී පමණක්වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ සිදුවීම් 168 ක් වාර්තා වීම සමාජ කම්පනයක් ඇති කරන සහ බරපතළ කරුණක් වීම හේතුවෙන් මෙහි  සත්‍ය අසත්‍යතාව විමසා බලා ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීමට හෑෂ්ටැග් පරපුරේ අපි තීරණය කළෙමු. 

 ළමා හා කාන්තා අපයෝජන විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගෙන් අප මේ සම්බන්ධයෙන් මුලින්ම විමසීමක් කළේය. සැප්තැම්බර් මාසයේ දී පමණක් වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ සිදුවීම් 168 ක් වාර්තා වී ඇති බවත්, මෙම සංඛ්‍යාවට ඇතුළත් වන්නේ පොලිසියට වාර්තා වූ සිදුවීම් පමණක් බවත් අප කළ විමසීමේදී ජයසුන්දර මහත්මිය පැවැසුවාය. මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසන්නැයි ද ඇය කීවා ය. 

ඒ අනුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් මේ පිළිබදව විමසීය. එහි දි එම සිදුවීම් 168 ගැන ඔහු පැහැදිලි කිරීමක් කළේ ය.  එම සංඛ්‍යා දත්ත පහතින් දැක් වේ.

සිදු වූ ආකාරය සංඛ්‍යාව
පියා විසින්  10
සහෝදරයා විසින්  16
මවගේ අනියම් පුරුෂයා විසින් 7
සීයා විසින් 3
ළගම ඥාතීන් විසින් 8
ප්‍රේම සම්බන්ධතා නිසා 110
බලහත්කාරයෙන් 14

ඉහතින් දැක්වෙන්නේ පොලිසියට වාර්තා වූ සිදුවීම් පමණක් බවත් වාර්තා නොවූ සිදුවීම් තවත් තිබෙන්නට පුළුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව මහතා පැවැසීය.

එමෙන්ම මේ පිළිබඳව තවදුරටත් කරුණු පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගෙන් ද විමසීමක් කළේය. තමන් ප්‍රකාශ කරන ලද සියලුම දත්ත නිවැරදි බව එහිදී ඔහු තහවුරු කළේ ය. පිළිගත හැකි විශ්වාසවන්ත සහ  නිවැරදි මූලාශ්‍ර ඔස්සේ ඔහුට තොරතුරු ලැබුණු බවත්, මෙම සියළු දත්ත පොලිසියට වාර්තා වූ සිදුවීම් පමණක් බවත් එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. තවද මෙම සිදුවීම් පුද්ගල අනන්‍යතාවය හා පෞද්ගලිකත්වය සමග බැඳුණු සංවේදී කාරණා නිසා මේවායේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී යම් සීමාවකට යටත්ව ඉදිරිපත් කිරීමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිගමනය : සැප්තැම්බර් මාසයේ පමණක් මෙරට වයස අවුරුදු 16ට අඩු දැරියන් දූෂණය කිරීමේ සිද්ධි 168 වාර්තා වන බවට පළවන සටහන් සත්‍ය වේ. එම සිදුවීම් 168 පොලිසියට වාර්තා වූ සිදුවීම් පමණක් බවත්, පොලිසියට වාර්තා නොවූ  සිදුවීම් පැවතිය හැකි බවත් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. ඒ අනුව සැප්තැම්බර් මාසයේ පමණක් බාල වයස්කාර දැරියන් දූෂණය කිරීමේ සිදුවීම් 168 ක් වාර්තා වී ඇති බවට සංසරණය වන සටහන් සහ ප්‍රකාශ නිවැරැදි බවට බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.