Hashtag Generation

සුබ පැතුවොත් දුරකතනය හැක් වෙනව ද?

අන්තර්ජාලය මුල් කරගනිමින් නිකුත් කෙරෙන පණිවුඩ, වට්ස්ඇප් (WhatsApp) ආදී පණිවුඩ ජාලවල සංසරණය වන පණිවුඩ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී විශාල කතාබහක් ඇති විය. අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන විවිධ ජාවාරම්, ගනුදෙනු, මංකොල්ලකෑම්, පැහැරගැනිම්, බලපෑම් කිරිම් ආදිය සම්බන්ධයෙන් ද ඒ කතාබහ ඇති වී තිබිණි. විවිධ අනතුරු ඇඟවීම් කරමින් සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාල ඔස්සේ විවිධ පුද්ගලයන්ට ලැබීමට සලස්වන අසත්‍ය පණිවුඩ එයින් මුල් තැනක් ගනී. මෙවැනි අසත්‍ය පණිවුඩ නිසා සැලකිය යුතු පිරිසක් විවිධ ගැටලුවලට මුහුණ පා ඇත. 

මේ ආකාරයේ මහජනතාව නොමඟ යවන පණිවුඩයක් ඉකුත් දින කිහිපයේ දී වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළ හුවමාරු වී තිබිණි. 

” ඔල්ගා නිකොලෙව්නාස් නීතිඥවරිය ගෙන් අනතුරු ඇඟවීමක් ” යනුවෙන් එම පණිවුඩය සංසරණය වී තිබිණි. දුරකතනය මාර්ගයෙන් හුවමාරු කරගන්නා සුබ පැතුම්, සුබ උදෑසනක්, සුබ රාත්‍රියක් හෝ ආගමික විශ්වාස හා ආශීර්වාද යනාදීය දැක්වෙන පණිවුඩ ඔබ සතුව ඇත්නම් හැකි ඉක්මනින් ඒවා විනාශ කර දමන්නැයි ද ඔබගේ මිතුරන් සමඟ ඒවා බෙදාගැනීමෙන් වළකින්න යැයි ද එම පණිවුඩයේ දැක්විණි. එම පණිවුඩ බෙදා ගැනීම මඟින් චීනයේ හැකරුවරුන් ඒවායේ “phishing codes” සඟවා ඇති බවත් ඒ ඔස්සේ ඔබේ තොරතරු ඔවුන්ට ලබාගත හැකි බැවින් ඔබ අනාරක්ෂිත විය හැකි යැයි ද එහි පණිවුඩයේ තවදුරටත් සඳහන්ව තිබිණි. 

එහි තිර ඡායාරූපයක් (screenshots) පහතින් දැක්වේ. 

පසුව එය සිංහල බසින් ද සංසරණය වූ අතර එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීය. ඒ අනුව මෙම පණිවුඩයේ සඳහන් වන ආකාරයේ යමක් මෙරට හෝ විදෙස් මාධ්‍ය හෝ පළ වී ඇත්දැයි මුලින්ම සොයා බැලීය. එහෙත් එවැනි යමක් දක්නට නොලැබිණි. ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ සම්බන්ධයෙන් නිවේදනයක් හෝ ප්‍රකාශයක් හෝ වෙන යමක් තොරතුරක් ප්‍රසිද්ධ කර ඇත්දැයි විමසා බැලූ අතර එහි ද ඒ සම්බන්ධයෙන් කිසිවක් නොවීය. මෙම පණිවුඩයේ සඳහන් වන ආකාරයට Shanghai China  International News යනුවෙන් පුවත් කාර්යාංශයක් තිබේදැයි සොයා බැලූ අතර එවැනි පුවත් කාර්යාංශයක් හෝ මාධ්‍ය ආයතනයක් නොමැති බව තහවුරු විය. “ඔල්ගා නිකොලෙව්නාස්” යනුවෙන් නීතිඥවරියක් සිටිනවාද යනුවෙන් අන්තර්ජාලය තුළ සොයා බැලීමක් කළ අතර එම නමින් නීතිඥවරියක් සිටින බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අපට නොලැබිණි. 

බොහෝ දෙනා තම හිතවතුන්ට සුබ පැතුම් එක් කිරීම සඳහා අන්තර්ජාලයේ ඒ ආකාරයේ ඡායාරූප සොයාගනී. එලෙස යොදාගන්නා බොහෝමයක් ඡායාරූප අන්තර්ජාලයෙන් බාගත (Download) කරගන්නා ඒවා ය. ඒ අනුව ඒවා හැකර්වරුන් නිර්මාණය කළ යැයි කියන අදහස අසත්‍ය යැයි සඳහන් කළ හැකි ය. 

 එවැනි ඡායාරූපයක් පහතින් දැක්වේ. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා මෙරට සිටින සයිබර් ආරක්ෂණ විශේෂඥයකු වන අසේල වෛද්‍යාලංකාර මහතාගෙන් අප විමසීමක් කළේ ය. 

“ඔය පණිවුඩයේ තියෙන විදියට නොදන්න පණිවුඩයක්, Link එකක් click කළොත් එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඡායාරූපයක් ඩවුන්ලෝඩ් කරන්න, Link එකක් clickකරන්න කියලා තිබ්බොත්, එහෙම කළොත් එහෙම අවදානමක් වෙන්න ඉඩ තියෙනවා. සියයටක් සියයක්  අපි නෑ කියන්නේ නැ . නමුත් මෙහි සදහන් කරලා තියෙන ආකාරයට ඔය good morning කියලා ලැබෙන පණිවුඩය තුළ, එහෙම නැත්නම් ඔය හැකර්වරුන් විසින් හැක් කරනවා කියන ඡායාරූප තුළින් එහෙම දෙයක් වෙනවා කියලා අපි කිසිම දෙයක් තවම හොයාගෙන නෑ. මේක බොරු පණිවුඩයක්” යැයි අසේල මහතා පැවැසීය. 

එකිනෙකාට යවන පණිවුඩ සහ ඡායාරූපවලට දුෂ්ට මෘදුකාංග (Malware) ඇතුළත් කළ හැකි නමුත් “Good Morning” යනුවෙන් සඳහන් කරමින් මහ පරිමාණයෙන් ප්‍රහාරයක් මෙතෙක් එල්ල වී නැති බව ද අසේල වෛද්‍යාලංකාර මහතා කීවේ ය. එසේ වුවද  නොදන්නා පණිවුඩ හෝ සත්‍ය විශ්වාස කළ නොහැකි පණිවුඩවලින් තමන්ගේ උපකරණවලට බාගත (download) කිරීම් කිරීමේදී පරෙස්සම් විය යුතු යැයි ද ඔහු අනතුරු ඇඟවීය. 

නිගමනය: ‘සුබ පැතුම්’ පණිවුඩ භාවිත කරමින් හැකර්වරුන් ඔබගේ දුරකතනය හැක් කරනු ඇතැයි ද පරෙස්සම් වන්න ඔබගේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් දැනුවත් කරන්නැයි සඳහන් කරමින් ලැබෙන පණිවුඩය අසත්‍ය පණිවුඩය කි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.