Hashtag Generation

“සෞඛ්‍ය හා අධ්‍යාපන‌ය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතු ය” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක් කර නොමැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කළා යැයි කියන ප්‍රකාශ කිහිපයක් ඉකුත් සති කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් ම ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබිණි. “සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතුය ” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේ යැයි ඉන් බොහෝමයක දැක්විණි. 

එලෙස සංසරණය වූ ෆේස්බුක් සටහන් කිහිපයක තිරඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත. 

ගොඩයමු නමැති ෆේස්බුක් පිටුවකින් (Facebook Page) මුල් වරට මෙම ෆේස්බුක් සටහන් (Facebook Posts) ප්‍රසිද්ධියට පත් කර ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී දක්නට ලැබිණි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීය. මහ බැංකු අධිපතිවරයා මෑතකදී සහභාගී වූ ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡා හෝ මාධ්‍ය සාකච්ඡා කිසිවකදී සහනාධාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති බව අපට එහිදී තහවුරු විය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩයක් මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීය. මහ බැංකු අධිපතිවරයා එවැනි ප්‍රකාශයක් නොකළ බව මහ බැංකුව අවධාරණය කළේ ය.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩයක් මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළේ ය. හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ජූලි 17, 19 සහ 20 දිනවලදී ඊමේල් මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීම් කළ ද ජූලි 24 වැනිදා තෙක් ඒ කිසිවකට පිළිතුරු නොලැබිණි. 

ඉකුත් වසරේ ජූලි හා අගෝස්තු යන මාස වලදී ද මේ හා සමාන අන්තර්ගත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අපට නිරීක්ෂණය විය. එලෙස ඉකුත් වසරේ (2022) හුවමාරු වූ ෆේස්බුක් සටහනක (Facebook Post) තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා,  “ආර්ථිකය ගොඩ ගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුය”යනුවෙන් ප්‍රකාශ කළා යැයි දැක්වෙන ප්‍රකාශ ද මේ ආකාරයෙන් ම ඉකුත් වසරේ ජූලි හා අගෝස්තු යන මාසවලදී සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

හෑෂ්ටැග් පරපුර ඒ සම්බන්ධයෙන් කළ කරුණු පරීක්ෂාවට  මෙතැනින්. 

The Sun Daily නම් වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් “Inflation is not a problem; But a solution” යන සිරස්තලය යටතේ පළ කර තිබූ වාර්තාවක් මුල් කරගනිමින් එලෙස ඉකුත් වසරේ දී මහ බැංකු අධිපතිවරයා ඉලක්ක කරගනිමින් ව්‍යාජ තොරතුරු නිර්මාණය වී තිබිණි. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස එය පළ කර තිබිණි. මෙතැනින්. එම වාර්තාව පසුව සිංහලට පරිවර්තනය වී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් 2022 අගෝස්තු මස 16 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර මෙම සමාජ මාධ්‍ය සටහන්, පණිවුඩ හෝ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එමගින් ප්‍රකාශ කළේ ය. මෙතැනින්. 

නිගමනය: ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා “සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතුයි” යනුවෙන් ප්‍රකාශයක් සිදු කර නොමැත.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.