Hashtag Generation

හදවත් සැත්කම් අවශ්‍ය දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කරනවාද?

“හදවත් සැත්කමක් කිරීමට බලා සිටින දරුවන් ඔබ දන්නේ නම් වහාම රිජ්වේ ආර්යා ළමා රෝහල – කොළඹ වෙත එවන්න” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ෆේස්බුක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක ම සංසරණය විය. 

එලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

“රොටරි සමාජය බටහිර කොළඹ (මම එහි ශල්‍ය සම්බන්ධීකාරක), දරුවන් හැත්ත පස් දෙනෙකුට නොමිලේ සැත්කම් සඳහා ඉන්දියාවට ගෙන යාමට ඩොලර් මිලියන පහළවක ප්‍රධානයක් ලැබිණි. මැයි මුල් සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත – ආචාර්ය අරවින්ද දිසානායක. ඕනෑම කෙනෙකුට මේ ප්‍රචාරය කර හැකිය. එය කෙනෙකුට උපකාර වනු ඇත” යනුවෙන් සඳහන් අන්තර්ගතයක් සමාජ මාධ්‍ය සටහන තුළ දක්නට ලැබුණි.

මෙම සටහන ෆේස්බුක් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකම සීඝ්‍රව සංසරණය වීම නිසා මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීමට අපි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදවත් සැත්කම් අංශයෙන් විමසීමක් කළෙමු. මෙවැනි නොමිලේ හදවත් සැත්කම් කිරීමක් සම්බන්ධව ඔවුන් දැනුවත් නොමැති බවත් එවැනි ක්‍රියාවලියක් සිදුවනවා නම් ඔවුන් අනිවාර්යයෙන් ම දැනුවත් විය යුතු බවත් අප කළ විමසීමේදී ඔවුන් පැවසීය.

තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. මෙම පණිවුඩය ඇතුළත් සටහන මීට වසර කිහිපයකට පෙර ද මේ ආකාරයෙන් ම සංසරණය වූ බවත් මෙය මහජනතාව නොමඟ යවන පණිවුඩයක් බවත් වෛද්‍යවරයා තහවුරු කළේය. මේ වසරේද කිහිප විටකදී සමාජ මාධ්‍ය තුළ මෙය සංසරණය වූ බවද ඒ මහතා පැවසීය. මෙවැනි තොරතුරක් සංසරණය වුවහොත් ඒ පිළිබඳ පළමුවෙන් ම රෝහලෙන් විමසීමක් කර එය සත්‍ය නම් පමණක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගන්නා ලෙසද වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසා බැලීමේදී මේ ආකාරයේ පණිවුඩයක් සම්බන්ධයෙන් 2022 වසරේදී බටහිර කොළඹ රොටරි සමාජය විසින් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

“ඉන්දියාවේ ළමා හෘද සත්කම් ගැන සඳහන් කරමින් මෑතකාලීන සමාජ මාධ්‍ය පණිවිඩ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සහ තහවුරු කිරීම” යනුවෙන් එම පණිවුඩයේ ශීර්ෂය  සඳහන් විය. 2022 මැයි සිට 2022 සැප්තැම්බර් දක්වා බලපැවැත්වෙන පරිදි ඩොලර් 200,000 ක අරමුදලක් ඉන්දීය රොටරි සමාජය සහ රොටරි ඉන්ටර්නැෂනල් විසින් ලබා දී අති බවත් එහි දේශීය හවුල්කරුවන් වශයෙන් බටහිර කොළඹ රොටරි සමාජය ක්‍රියා කරන බවත් අන්තර්ගතයේ දැක්විණි. තවද එම අරමුදලින් ශල්‍යකර්ම සඳහා ළමුන් 75 දෙනෙකුට ප්‍රතිකාර කිරීමටත්, හෘද දැඩිසත්කාර ඒකකයේ හෙදියන් සහ වෛද්‍යවරුන් සඳහා පුහුණුවක් ලබාදීටත් කටයුතු කරන බව එහි සඳහන් විය. ඉන්දියාවේ කෝචිහි පිහිටි අම්රිතා රෝහල මෙම සැත්කම් සිදුකිරීමේ හවුල්කරුවන් බවද එම ෆේස්බුක් පණිවුඩයේ සඳහන් කර තිබුණි. තවද මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් රිජ්වේ ආර්යා ළමා රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී දරුවාගේ විස්තර ලබාදිය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

2022 වසරේ බටහිර කොළඹ රොටරි සමාජය විසින් පළකල ෆේස්බුක් පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 


මෙය 2022 වසරේ සිදු වූ ව්‍යාපෘතියකි. මෙවැනි ක්‍රියාවලියක් හරහා වර්තමානයේ දරුවන් ඇතුළත් කර ගැනීමක් වර්තමානයේ සිදු නොවන බව රිජ්⁣වේ ආර්යා ළමා රෝහලෙන් කළ විමසීම්වලිව් තහවුරු විය. මෙවැනි පණිවුඩයක් වර්තමානයේ සංසරණය වීමෙන් මහජනතාව නොමඟ යවන බව පැහැදිලිය.

නිගමනය : ළමුන් 75 දෙනෙකුට නොමිලේ හදවත් රෝග සැත්කම් කරන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් සංසරණය විය. මෙය මීට පෙර සංසරණය වූ සටහනක් බවත් වර්තමානයේ මෙවැනි ක්‍රියාවලියක් සිදු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහල තහවුරු කරන ලදී. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.