Hashtag Generation

අමාත්‍ය නලින්ද ජයතිස්ස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි.

2024 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇත. ඒ කතානායකවරයාගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් මතු වී ඇති කතාබහ මුල් කොට ගෙනයි. 

මෙලෙස කතාබහ ගොඩ නැගී ඇති කාල වකවානුවක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පශු වෛද්‍යවරයෙක් බව සඳහන් කරමින් සටහන් ෆේස්බුක් තුළ සංසරණය විය.

ෆේස්බුක් මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ. 

“ඩොක්ට නලින්ද කීවාට ඒකා පශු වෛද්‍යවරයක්ලු යකෝ…” යනුවෙන් එම සටහනේ සඳහන් වී ඇත. 

මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බලා කරුණු පැහැදිලි කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව අපි පළමුවෙන් ම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ද යන්න විමසා බැලුවෙමු. 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් පිටුවේ ඇති ලියාපදිංචි වෛද්‍යවරුන්⁣ සම්බන්ධ තොරතුරු විමසීමේ තීරුවට අමාත්‍යවරයාගේ තොරතුරු ඇතුළත් කළ පසු ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයක් බව තහවුරු විය.

එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 21353 යන ලියාපදිංචි අංකය යටතේ 2006 වසරේදී ලියාපදිංචි වී ඇත. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදී උපාධිධාරියෙකු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තොරතුරු තුළ ඇතුළත් විය.

තවද අපි මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන්ද විමසීමක් කළෙමු. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදී උපාධිධාරි සාමාන්‍ය වෛද්‍යවරයෙකු බවත් ඔහු පශු වෛද්‍යවරයෙකු බව සඳහන් කරමින් මෙලෙස පළවන සටහන් අසත්‍ය බවත් ඒ මහතා පැවසීය. 

සමාජ මාධ්‍ය සටහන තුළ ඔහු පශු වෛද්‍යවරයකු බව සඳහන් වුවද ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය පීඨයක් සහිත එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය වන අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය උපාධිය සම්පූර්ණ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි

තවද මේ සම්බන්ධයෙන් පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ හා ජාතික නවෝත්පාදන නියෝජිත ආයතනය අතිරේක ප්‍රධාන නවෝත්පාදන නිලධාරිනී සචී පනාවල මහත්මිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණි.

මේ අනුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පශු වෛද්‍යවරයක් බව සඳහන් කරමින් සංසරණය වූ සටහන ව්‍යාජ බව පැහැදිලිය.

නිගමනය : සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පශු වෛද්‍යවරයෙකු බව සඳහන් කරමින් සටහන් සංසරණ විය. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි. මේ අනුව පළවුණු සමාජ මාධ්‍ය සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.