Hashtag Generation

අරලියගහ මන්දිරයේ කඩා බිඳ දැමූ ආරක්ෂක කුටි නැවත ඉදි කරනවාද?

නව රජය පසුගිය දිනක අග්‍රාමාත්‍ය නිල නිවස ලෙස සලකන අරලියගහ මන්දිරය ආසන්නයේ ඇති මාර්ගය මහජනතාවට භාවිතා කළ හැකි ආකාරයට කටයුතු සුදානම් කරනු ලැබුණි. එමෙන්ම අරලිය ගහ මන්දිරය ඉදිරියේ තිබු ආරක්ෂිත කුටි කඩා ඉවත් කිරීමක්ද සිදු කරන ලදී. ඒ සමගම ජනපති නිල නිවස ඉදිරිපස මාර්ගයද විවෘත කරන ලදී. නමුත් මෑතක ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් වාර්තා වීමත් සමග මෙම කුටි නැවත ඉදි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය විය. එවැනි සටහනක් පහතින් දැක්වේ.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ පවතින අනාරක්ෂිත තත්වය නිසා ජනපති මැදුරේ මුරකුටි නැවතත් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි. එම සටහන සඳහා අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබු මුර කුටි ඉවත් කිරීමේ දී ගත් ඡායාරූපයක් භාවිතා කර තිබුණි. 

පළමුව සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලාංජනයේ හිමිකාරිත්වය ඇති NEWS PEDIA ෆේස්බුක් පිටුවේ මෙවැනි ප්‍රවෘත්තියක් පළ වී ඇත්ද යන්න අප සොයා බැලු නමුත් අප කළ විමර්ෂණයේදී තහවුරු වුයේ එවැනි ප්‍රවෘත්තියක් ඔවුන් පළ කර නොමැති බවයි. ඒ අනුව මෙම සටහන ඔවුන්ගේ ලාංජනය භාවිතා කර ගනිමින් ජනතාව ගේ විශ්වාසය දිනා ගැනීමට ව්‍යාජ ලෙස නිර්මාණය කල සටහනක් බව අපට අනුමාන කල හැක. 

මේ සටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් නජිත් ඉන්දික ගෙන් කරුණු විමසීමක් සිදු කළේය. 

ඔහු කියා සිටියේ පසුගිය දිනක අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමක් සිදු කළ බවත් එම මාර්ගය විවෘත කිරීමේදී මාර්ගය දෙපස තිබු ආරක්ෂිත කුටි කඩා ඉවත් කිරීමට සිදු බවයි. ආරක්ෂිත කුටි කඩා ඉවත් කර ඔක්තෝම්බර් 11 වෙනිදා සිට එම මාර්ගය මහජනතාව සඳහා විවෘත කළ බව  ඔහු තව දුරටත් පවසා සිටියේය.

ඒත් සමඟ එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කඩා ඉවත් කර ඔක්තෝම්බර් 11 වෙනිදා සිට එම මාර්ගය ගමනාගමනය සඳහා කොළඹ මහ නගර සභාව ජනතාව සඳහා  විවෘත කළ බව ඔහු තව දුරටත් පවසා සිටියේය. . 

2005 වර්ෂයේ සිට ආරක්ෂිත හේතූන් මත වසර 19 ක් වැනි කාලයක් මෙම මාර්ගය වසා තැබු බවත් දිර්ඝ කාලයක් වසා දමා තිබු නිසාවෙන් මෙම මාර්ගය නව රජය  විසින් මහජනතාවට භාවිත කළ හැකි ආකාරයට විවෘත කළ බවයි. 

ඔහු තව දුරටත් තහවුරු කර සිටියේ ඡායාරූපයේ දැක්වෙන අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ කඩා ඉවත් කළ ආරක්ෂක කුටි නැවත ඉදි කිරීමට කිසිදු කටයුත්තක් සුදානම් කර නොමැති බවයි. 

තවද සටහනේ දැක්වෙන පරිදි ජනාධිපති මැදුරේ ආරක්ෂක කුටි කඩා දැමීමක් සිදු නොකළ බවත් ජනාධිපති මැදුර ආසන්නයෙන් ඇති මාර්ගය මහජනතාවට භාවිත කළ හැකි ආකාරයෙන් විවෘත කිරීමක් පමණක් සිදු කළ බව ඔහු කියා සිටියේය. එම මාර්ගය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ කොටුව ජනාධිපති මාවත බවත් එය සැප්තැම්බර් 27 දින ජනතාවට භාවිත කළ හැකි ආකාරයෙන් විවෘත කළ බව ඔහු තහවුරු කළේය. 

ජනාධිපති මන්දිරය සහ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය බොහෝ පිරිසක් වරදවා වටහා ගැනීමකින් කටයුතු කරන බවත් ඔහු පැවසීය. ආරක්ෂක කුටි කඩා ඉවත් කරනු ලැබුවේ අරලියගහ මන්දිරයේ බවත් ජනාධිපති මන්දිරයේ නොවන බවත්  ඔහු තහවුරු කළේය.

නිගමනය : පසුගිය දිනක කඩා ඉවත් කළ අරලියගහ මන්දිරයේ ආරක්ෂක කුටි නැවත ඉදිකිරීමක් සිදුවන්නේ නැති බවත් ජනාධිපති මැදුරේ ආරක්ෂක කුටි කඩා ඉවත් නොකළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරන ලදි. මේ අනුව මෙය ව්‍යාජ පණිවුඩයක් බව තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.