Hashtag Generation

දළදා පෙරහැරට අලි ඇතුන් යොදා නො‌ගෙන පෙරහැර පැවැත්වීම සම්බන්ධ ප්‍රකාශයක් ආචාර්ය හරිනි අමරසූරිය කර නැත.

ජනාධිපති මැතිවරණයේ උණුසුමත් සමඟ විවිධ පුද්ගලයින්ට හා පක්ෂවලට විරුද්ධව ඔවුන් අළලා දුස්තොරතුරු ප්‍රචාරණයේ ඉහළ යාමක් දක්නට ඇත. 

ඒ අනුව පසුගිය දිනවල ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය විසින් දළදා පෙරහැර හා සත්ත්ව හිංසනය පිළිබද ප්‍රකාශයක් සිදු කළා යැයි සදහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු විය. 

දසත ලංකා ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනක ආකාරයට මෙය නිර්මාණය කර තිබූ අතර ජාතික ජන බලවේගය අලි ඇතුන් යොදා ගැනීම හේතුවෙන් දළදා පෙරහැරට විරුද්ධ බව වක්‍රව ගම්‍ය වෙන ආකාරයෙන් මෙහි සිරස්තලය දක්වා තිබුණි. පහතින් දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම සටහනේ තිර ඡායාරූපයකි. 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සටහනේ සදහන් වන ආකාරයට දසත ලංකා ෆේස්බුක් පිටුව තුළ හෝ දසත ලංකා වෙබ් අඩවිය තුළ එවැනි පණිවුඩයක් හෝ සටහනක් පළ වී නොතිබුණි.

තවද ප්‍රධාන රූපවාහිනී මාධ්‍යවල සහා පුවත්පත් මාධ්‍යවල මෑතකදී එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු කර ඇති බවක් දැක ගැනීමට නොහැකි විය.

ආචර්ය හරිනි අමරසුරිය විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද යන්න ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් රංජන් මහතාගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ එවැනි ප්‍රකාශයක් එතුමිය කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවයි. 

තවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව කරුණු විමසන ලදි. මෙය වැරදි පණිවුඩයක් බවත් ඇයට විරුද්ධව මීට පෙරද දළදා මාළිගාව හා පෙරහැර සම්බන්ධ කර ගනිමින් අසත්‍ය පණිවුඩ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ බවත් ඇය පැවසුවාය.

නිගමනය: “අලි ඇතුන් යොදා නොගෙන බෞද්ධ ජනතාවට අපේ ආණ්ඩුවක් යටතේ දළදා පෙරහැර සිදු කල හැකියි” යනුවෙන් ප්‍රකාශයක් ආචාර්ය හරිනි අමරසූරිය කර නැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.