Hashtag Generation

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් දෙන්නේ නැද්ද?

පසුගිය නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ⅔ ක බහුතර බලයක් දිනා ගනිමින් ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව පිහිවනු ලැබිණි. මෙම ආණ්ඩුවේ නව මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීමට ගත් තීරණය ආපසු හරවා ගෙන ඇති බව සඳහන් කරමින් පසුගිය දෙසැම්බර් දෙවන දින ලංකාදීප පුවත්පත පුවතක් වාර්තා කර තිබුණි. එම පුවත දෙසැම්බර් 02 වන හිරු ටීවී නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන තුළ ද විකාශනය වී තිබෙනු දැක ගත හැකි විය. 

ලංකාදීප පුවත්පතේ සහ හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන තුළ විකාශනය වූ පුවතේ තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

“නිල වාහන නෑ – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තෙල් කෝටාවක්” යනුවෙන් ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ සඳහන් වී තිබුණි. “ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරයි” යනුවෙන් පුවතේ අන්තර්ගතය තුළ සඳහන් විය.

මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ ගොඩ නැගී ඇති මෙවැනි කාලවකවානුවක මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව මෙලෙස වාහනයක් ලබා නොදීම පිළිබදව රජයේ වගකිවයුතු නිලධාරියෙකු කරනු ලබන ප්‍රකාශයක් වෙනත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වාර්තා කර තිබේදැයි පළමුවෙන් ම සොයා බැලිණි. එහිදී “සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පැවසූ බව සඳහන් පුවතක් නොවැම්බර් 22 වන දින Newsfirst ෆේස්බුක් නාලිකාවේ විකාශනය වී තිබුණි.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා අපි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළෙමු. තවම මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දෙනවාද, වාහන බලපත්‍රයක් ලබා දෙනවාද යන්න තීරණයක් ගෙන ඔවුන්ව දැනුවත් කර නොමැති බවත් වාහනයක් ලබා නොදෙන බවට පළවන පුවත් අසත්‍ය බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය අප කළ විමසීමේදී  පැවසීය.

තවද ලංකාදීප පුවත්පත වාර්තා කළ මෙම පුවත සම්බන්ධයෙන් තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා අපි ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් විමසීමක් කළෙමු. මෙම පුවත සම්පූර්ණ අසත්‍ය ආකාරයෙන් නිර්මාණය කර ඇති බවත් රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සිය ධූර කාලය තුළ රාජකාරී කටයුතු සිදු කිරීමට වෙනදා ලබා දෙන වාහන බලපත්‍රය වෙනුවට නිල වාහනයක් ලබා දීමට තීරණය කර ඇති බවත් එය ධූර කාලය අවසන් වූ පසු නැවත රජයට භාර දීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය. මෙරට සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ ජාතික ජන බලවේගය විසින් සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද මෙය අන්තර්ගත කර ඇති බවත් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට ප්‍රථමව නිවැරදි මූලාශ්‍රවලින් තොරතුරු සොයා බලා කටයුතු කරන ලෙසත් අප වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසීය. 

තවද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සදහන්ව ඇති කොටසේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධූර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබා දීම” යනුවෙන් සදහන් කර ඇත. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

නිගමනය : ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ධූර කාලය තුළ භාවිතය සදහා නිල වාහනයක් ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරන ලදී. ඒ අනුව ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණය ආපසු හරවා ගෙන ඇති බවට පළවන පුවත්පත් වාර්තාව ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.