Hashtag Generation

ආරක්ෂකයින් නොමැතිව ජනාධිපති අනුර පසුගිය දා මැනිං වෙළඳපලට ගියද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂකයින් නොමැතිව පෑලියගොඩ මැනිං වෙළඳපලට ගිය වීඩියෝවක ලෙස සඳහන් කරමින් වීඩියෝවක් පසුගිය දා (සැප්තැම්බර් 27) යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය කිහියක සංසරණය  විය. 

එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ තිර ඡායාරූප කිපයක් පහතින් දැක්වේ.

“ආරක්ෂකයෝ නෑ..පොලිසිය නෑ.. සැප වාහන නෑ.ජනපති අද උදේම වැඩ අල්ලයි බලන්න කරන දේ” යනුවෙන් වීඩියෝව සමඟ වාක්‍ය කිහිපයක් දර්ශනය විය. එම වීඩියෝව තුළ අනුර කුමාර දිසානායක මහතා, විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් පෑලියගොඩ මැනිං වෙළඳපලට ගිය දර්ශන සහ අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන දර්ශන වීඩියෝව තුළ අන්තර්ගත වී තිබුණි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වී දින කිහිපයක් තුළ ජනාධිපති ආරක්ෂාව රහිතව ගමන් කරනු ලබන බව සඳහන් මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වෙනිදා මැනිං වෙළඳපලට ගිය බව සඳහන් පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ විකාශය වී ඇද්දැයි විමසා බැලිණි. ජනාධිපතිවරයා ආරක්ෂකයින් නොමැති මැනිං වෙළඳපලට ගිය පුවතක් අපට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දැකගත නොහැකි විය.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සොයා බැලූ අතර එය මීට වසරකට පමණ පෙර එනම් 2023 සැප්තැම්බර් 05 වෙනිදා අනුර කුමාර දිසානායක මහතා මැනිං වෙළඳපලට ගිය වීඩියෝවක් බව තහවුරු විය.

තවද ඒ පිළිබඳව 2023 වර්ෂයේ සැප්තැම්බර් 05 වෙනිදා පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් ද හමුවිය. ඊට අමතරව අනුර කුමාර දිසානායක මහතා විසින් ඒ සම්බන්ධයෙන් මීට වසරකට පමණ පෙර පළ කරන ලද ලින්ක්ඩින් සටහනක් ද අපට හමුවිය.

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂකයින් නොමැතිව මැනිං වෙළඳපලට ගිය වීඩියෝවක් ලෙස සංසරණය වන මීට වසරකට පෙර පළ වූ වීඩියෝවක් බව පැහැදිලි විය.

නිගමනය : ආරක්ෂකයින් නොමැතිව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා මැනිං වෙළඳපලට ගිය වීඩියෝවක් බව සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එම වීඩියෝව මීට වසරකට පමණ පෙර සංසරණය වූ වීඩියෝවකි. ඒ අනුව පසුගියදා පළ වූ ආරක්ෂකයින් නොමැතිව ජනාධිපති මැනිං වෙළඳපලට ගිය වීඩියෝව මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.