Hashtag Generation

ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් නොවේ.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ  6 වන දිනය පසුගිය අගෝස්තු 01 වෙනිදා පැවැත්විණි. එදින පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සි ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ ක්‍රීඩා කළ ඉතාලියේ ඇන්ජෙලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් අතර තරග වටයේදී මතභේදාත්මක සිද්ධියක් ඇති විය. එනම්  බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ  තරග කළ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි විසින් ඉතා කෙටි කාලයක් තුළ තරඟය අත් හැරීමයි.  මෙම සිදුවීමත් සමඟ ඇයගේ ප්‍රතිවාදියා ලෙස ක්‍රීඩා කළ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සම්බන්ධව විවිධ පුවත් ලංකාවේ මෙන් ම ලෝකය පුරාද ව්‍යාප්ත වන්නට විය. ඉමානේ කලීෆ් උපතින් පිරිමි පුද්ගලයෙකු බවත් පසුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පත්ව ඇති බවත් ඇයගේ ප්‍රහාරවලට මුහුණ දීමට නොහැකිව ඇන්ජෙලා කරීනි විසින් තරගය අත් හැර ඇති බවත් සඳහන් කරමින් විවිධ සටහන් හා පුවත් සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දැක ගත හැකි විය.

එලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ.

ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ගොඩ නැගී ඇත. මෙම මතවාදයන්ගෙන් බහුතරයක් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි වෛරය ඇති කරවන සුළු සන්දර්භයන්ගෙන් සමන්විත වී තිබුණි. 

“තමන් කාන්තාවක් ලෙස හඳුන්වා ගන්නා උපතින් පිරිමි පුද්ගලයෙක් මෙවර ඔලිම්පික්   තරගාවලියට තරග කරනවා. ඒ කාන්තා ඉසව්වෙන්. මේ ඔහු සමග තරඟයේදී කාන්තා ක්‍රීඩිකාව තත්පර 46කින් තරගය අත්හැරිය අන්දමයි. පිරිමියාගේ පහර ඇයට දරාගැනීමට අපහසු නිසා ඇය තරඟය අත්හැරියා. කොණ්ඩේ වවලා හෝමෝන ගත්තට උපතින් පිරිමියකුගේ මාංශ පේශි අස්ථි වේගය සුමට වෙන්නෙ නැහැ. ඒවා පිරිමි. අපි මේවට විරුද්ධ වෙලා උපතින් ගෑණු ළමයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරද්දි කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියන ෆෙමිනිස්ට් ඇන්ටිල අපිට ‘ටොක්සික් මැස්කියුලින් පිරිමි’ කියනවා. මේ දේවල් නුදුරේදීම ලංකාවටත් එයි. ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සටන් කරනවා. විශාල මුදලක් ෆන්ඩ් වෙනවා. ඔබේ දුවට ක්‍රීඩාවේදී පිරිමියෙක්ව තරග කරන්න වෙයි. ඒ වෙනකම් පුළුවන්නම් කටවහන් නිහඩව ඉන්න.” යනුවෙන් ශ්‍රී ලංකාවේ සංසරණය වූ සටහනක සඳහන් වී තිබුණි. 

ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් උපතින් පිරිමි පුද්ගලයෙකු බව මෙලෙස පළ වූ බහුතරයක් සටහන් තුළ අන්තර්ගත වී තිබුණි. ඉමානේ කලීෆ් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවත් එසේ වුවද ඇය උපතින් පිරිමියෙකු නිසා සාමන්‍ය කාන්තාවකට වඩා ශක්තිමත් බවත් මෙය මහත් අසාධාරණ තෝරා ගැනීමක් බවත් බොහෝ අදහස්වල ගැබ්ව තිබුණි.

ලොව පුරා කතා බහට ලක්වෙන මෙම මතභේදාත්මක සිදුවීමේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් ම ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් පිළිබඳව තොරතුරු විමසා බැලිණි. ඉමානේ කලීෆ් 1999 මැයි දෙවන දින ඇලඇල්ජීරියාවේ ටියරෙට් පළාතේ උපත ලබා ඇත. ඇය උපතින් ම කාන්තාවකි. 

ඉමානේ කලීෆ්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැරදි තොරතුරු ප්‍රථමයෙන් ම සංසරණය වන්නට පටන් ගත්තේ 2023 දී ය. 2023 වර්ෂයේ මාර්තු මාසයේදී පැවැත් වූ ජාත්‍යන්තර බොක්සිං සංගමයේ කාන්තා ලෝක බොක්සින් ශූරතාවලියේ අවසන් මහා තරඟයට පැමිණීමට ඇය සමත් වූ නමුත්  ප්‍රධාන තරගාවලියට පෙර ඇය තරඟය සදහා නුසුදුස්සෙකු විය. ඇල්ජීරියානු ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ වෛද්‍ය හේතූන් මත ඉමානේ කලීෆ් තරඟයට නුසුදුස්සෙකු වූ බවයි. ඉමානේ කලීෆ්ගේ ශරීරයේ  XY වර්ණදේහ ඇති බව ඔප්පු වූ නිසා ඇය තරඟයට නුසුදුසු බව ජාත්‍යන්තර බොක්සින් සංගමය ප්‍රකාශයට පත්කර තිබුණි.

තවද අපි මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසා බැලුවෙමු. ඉමානේ කලීෆ් යනු ඇල්ජීරියානු ජාතිකයෙකි. ඇල්ජීරියාව යනු සංක්‍රාන්තික ලිංගිකත්වය නීති විරෝධී ලෙස සලකනු ලබන ඉස්ලාමීය රටකි. 

තවද අප අන්තර්ජාලය හරහා මේ පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී ජාත්‍යන්තර ඔලිම්පික්  කමිටුව සහ පැරිස් බොක්සිං ඒකකය ඉමානේ කලීෆ්ට තරග කිරීමට ඇති සුදුසුකම් සනාථ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද පසුගිය ජූලි 31 වෙනිදා ප්‍රකාශයට පත්කර තිබුණි. 

එමෙන් ම ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව උපතින් ම කාන්තාවක් බවත්, ඇය ඇයගේ ජීවිතය ගැහැනියක ලෙස ජීවත් වී ඇති බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ඇඩම්ස් පසුගිය සිකුරාදා මාධ්‍ය වෙත පැවසීය.

ඉමානේ කලීෆ්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම හෝ XY වර්ණදේහ වැඩි වීම යන හේතු සාධක ද්විත්වයම ඇගේ කාය ශක්තිය වැඩි වීමට හේතු සාධක ලෙස දක්වා තිබුණි. තවද ඉමානේ කලීෆ්ගේ ශරීරයේ XY වර්ණදේහ ඇති බවට හෝ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ ගොස් ඇති බවට කිසිදු වෛද්‍ය සාක්ෂියක් ප්‍රකාශයට පත් කර නොමැත. මේ නිසා ජාත්‍යන්තර බොක්සිං සංගමය සිදු කළ පරීක්ෂණය රහසිගතව  සහ විනිවිදභාවයකින් තොරව සිදු කර ඇති බැවින් ඉමානේ කලීෆ්ගේ ශරීරයේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි නිගමනයකට එළැඹීමට නොහැක. කෙසේ නමුත් ඉමානේ කලීෆ් උපතින් කාන්තාවක් බව උක්ත කරුණු අනුව පැහැදිලිය.

නිගමනය : ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් උපතින් පිරිමි පුද්ගලයෙකු බවත් පසුව ඇය සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් බවට පත්ව ඇති බවත් සඳහන් කරමින් පුවත් සංසරණය විය. මෙම පුවත් ව්‍යාජ වන අතර ඇය උපතින් කාන්තාවක් බව විමසීම්වලදී තහවුරු විය. ඒ අනුව ඉමානේ කලීෆ් උපතින් පිරිමි පුද්ගලයෙකු බවට සංසරණය වූ පුවත් සහ සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න