Hashtag Generation

“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට ජාතික බුද්ධි තොරතුරු අනතුරු අඟවයි” යනුවෙන් වට්ස්ඇප් ඔස්සේ සංසරණය වන පණිවුඩය මහජනතාව නොමඟ යවයි.

පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21 වැනිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් පිළිබඳ නිතර විවිධ කතාබහ ගොඩ නැගෙන්නට විය. එමෙන්ම ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් පිළිබඳ මහජනතාව නොමඟ යවන ආකාරයේ පුවත් ද සමාජ මාධ්‍ය තුළ වරින් වර විවිධ ස්වරූපයෙන් සංසරණය විය.  

මේ දිනවල ද ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් සැලසුම් කරනවා යැයි කියන ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලෙස සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය හරහා පණිවුඩයක් හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි.  “ප්‍රවේශම්වන්න ! ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය ආරක්ෂක අංශ හෝ කිසිවකුත් බලාපොරොත්තු නොවන අයුරකින් එල්ල කිරීමට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් සැලසුම් කරමින් සිටින බවට ජාතික බුද්ධි තොරතුරු අනතුරු අඟවමින් සිටියි” යනුවෙන් එම පණිවුඩය තුළ සඳහන්ව ඇත. 

“ඒ අනුව ඔවුන්ගේ මීලඟ ප්‍රහාරය ආහාර විෂ කරවීමකින් එකවර මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් ය. 

මෙලෙස සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළ හුවමාරු වූ පණිවුඩයේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.


මෙම පණිවුඩය වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළ සංසරණය වීමත් සමඟ මෙම පණිවුඩයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ කරුණු පරීක්ෂාකර බැලීමට හෑෂ්ටැග් පරපුරේ අපි තීරණය කළෙමු. 

ඒ අනුව පළමුවෙන් ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ලේකම් අකිල තෙන්නකෝන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීය. මෙම පණිවුඩයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු තමන් සතුව නැතැයි තෙන්නකෝන් මහතා අප වෙත පැවැසීය. එමෙන්ම මේ ආකාරයේ ප්‍රහාරයක් පිළිබඳව ඔවුන්ට මේ වන විට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත්, මෙය මහජන ආරක්ෂාව පිළිබඳ පණිවුඩයක් නිසා වැඩිදුර තොරතුරු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කරන්නැයි ද තෙන්නකෝන් මහතා කීය.

ඒ අනුව අප මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළේ ය. නිල හෝ නොනිල වශයෙන් මෙවැනි පණිවුඩයක් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට ලැබී නැතැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවැසීය. මහජනතාව නොමඟ යවන ආකාරයෙන්   මෙවැනි පුවත් විටින් විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවත්, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ශ්‍රී ලංකා පොලිසියට ලැබී නොමැති බවත් තල්දූව මහතා වැඩිදුරටත් පැවැසීය. 

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. මෙම පණිවුඩය මීට පෙර අවස්ථාවලත් සමාජ මාධ්‍යවල සංසරණය වූ බවත් විශේෂයෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පසු අවස්ථා ගණනාවකදී මෙම පණිවුඩය සමාජ මාධ්‍යවල සංසරණය වූ බවත් හේරත් මහතා කීය. මෙම පණිවුඩය අසත්‍යයක් බවත් මේ පණිවුඩයේ සඳහන් ආකාරයේ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් හේරත් මහතා වැඩිදුරටත් කීවේ ය. 

නිගමනය : ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට ජාතික බුද්ධි තොරතුරු  අනතුරු අඟවන බව සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළතුළ හුවමාරුවන පණිවුඩය මහජනතාව නොමඟ යවයි. එම පණිවුඩය මීට පෙර අවස්ථාවලදීත් සමාජ මාධ්‍ය තුල සංසරණය වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ අතර ආරක්ෂක අමාත්‍යාංශයට හෝ ශ්‍රී ලංකා පොලිසියට මෙතෙක් එවැනි කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි ඒවායේ මාධ්‍ය ප්‍රකාශකවරු පැවැසූහ. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.