Hashtag Generation

එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සවය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ කැලුම් ජයසුමනට ඇප ලැබුණාද?

එල්.ටී.ටී.ඊ. මහවිරු දින සැමරුම් උත්සවයෙන් පසු පසුගිය දින කිහිපයේ එම උත්සවය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම හේතුව මත අසත්‍ය පුවත් බෙදා ගනිමින් ගැටළු ඇති කිරීමට උත්සහ කරන පුද්ගලයන් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරනු ලැබුණි. එයින් කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් පසු ගිය දිනක එවැනි අසත්‍ය පුවත් බෙදා ගත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. නමුත් මේ වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඇප ලැබී ඇති බවට පණිවුඩ සංසරණය වේ. එවැනි පණිවුඩයක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉහත පණිවුඩයේ දැක්වෙන්නේ  සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන කැලුම් ජයසුමන ඇප මත මුදා හැර ඇති බවයි. කැලුම් ජයසුමන අත්අඩංගුවට ගැනීමට හේතූ වී ඇත්තේ මහවිරු සැමරුම සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීම හේතුවෙනි. එම හේතුව මත පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එක් පුද්ගලයෙකුට ඇප ලැබී ඇත. 

මෙම සිදු වීම සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවක් කරනු ලැබුණි. නමුත් අපට සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන කැලුම් ජයසුමන හට ඇප ලැබී ඇති බවට කිසිදු තොරතුරක් තහවුරු කර ගැනීමට නොහැකි විය. එම නිසාවෙන් එම කාලසීමාවේ ප්‍රධාන රූපවාහිණි නාලිකාවන්වල මෙවැනි පුවතක් විකාශණය වී ඇත්ද යන්න අප සොයා බැලුවේය. එහිදී හිරු නාලිකාව මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබුණි. එම පුවතේ එක් පුද්ගලයෙකුට ඇප ලැබී ඇති බවට ප්‍රකාශ කර ඇති අතර එම පුද්ගලයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන කැලුම් ජයසුමන නොවන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මෙම සිදුවීම සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත් කැලුම් හර්ෂණ නැමැති පුද්ගලයා  වේ. 

මෙම හේතුව මත අප මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගෙන් කරුණු විමසීමක් සිදු කළේය. එහිදී ඔහු තහවුරු කරනු ලැබුවේ ඇප ලැබී ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන කැලුම් ජයසුමනට නොව එම සිදුවීම සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත් මරදාන ප්‍රදේශයේ පදිංචිකාරකයෙකු වන කැලුම් හර්ෂණ නැමැති පුද්ගලයාට බවයි.

නිගමනය : එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සවය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු  වන කැලුම් ජයසුමන හට ඇප ලැබී නොමැත. ඇප ලැබි ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත් මරදානේ පදිංචි කැලුම් හර්ෂණට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා තහවුරු කළේය. ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන් ජනතාව නොමග යනු ලබයි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.