Hashtag Generation

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට බාධාවක් නැති බවට මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශකර නැත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්, ලාංඡන, ඡායාරූප යොදා ගනිමින් මියගිය තම සාමාජිකයින් සැමරීමට කිසිදු බාධාවක් නැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කළ බව සඳහන් පුවත්පත් ඡායාරූපයක් සහිත සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එලෙස සංසරණය වූ පුවත්පත් ඡායාරූපය සහිත සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මේ දිනවල මහ විරු සැමරුම් කටයුතු සිදු වන බැවින්  මෙවැනි පුවතක් සංසරණය වීම පොදු ජනතාවට බලපෑම්කාරී විය හැකි නිසා මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව මෙම පුවත්පත් ඡායාරූපය කුමන පුවත්පතට අයත් වූවක් දැයි අපි පළමුව විමසා බැලුවෙමු. මෙම පුවත 2024 නොවැම්බර් 26 එනම් අද දින අරුණ පුවත්⁣පතේ පළ වී තිබෙනු දැක ගත හැකි විය.

එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මෙම පුවත පළ වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. “මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළා යැයි සංසරණය වන සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි” යනුවෙන් මාධ්‍ය නිවේදනය සිරස්තලය සඳහන් විය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විසින් ගල්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් අර්ථය වෙනස් කර නිර්මාණය කර ඇති බව මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ. 

“නිත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මිය යාම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවද, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවද, එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවද ආරක්ෂක අමාත්‍යාවරයා ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

මෙලෙස සිදු කළ ප්‍රකාශය විකෘති කොට පුවත්වල පළ වී ඇති බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විය. 

මාධ්‍ය නිවේදනයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

එමෙන් ම මෙම පුවතට පාදක වූ වීඩියෝව පිළිබඳව අපි විමසා බැලුවෙමු. ආරක්ෂක අමාත්‍යවරයාගේ  ප්‍රකාශය සහිතව හිරු ටීවී ෆේස්බුක් පිටුවේ පළ වූ පුවත් වීඩියෝවක් අපට හමුවිය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සිදු කරනු ලබන ප්‍රකාශය පහතින් දැක්වේ.

“නිත්‍යානුකූලව තමන්ගේ ඥාතීන් මිය ගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහ විරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ එල්.ටී.ටී.ඊ. ලාංඡනය යටතේ හෝ ඒ යුනිෆෝම් හෝ ඒ පින්තූර භාවිතා කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියාම ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒත් ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නේ නැහැ තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍යය යටින් තරඟ කරන්න. අපි කාටත් බාධ කරලා නෑ තමන්ගේ මිය ගිය ඥාතියා සිහිපත් කරන්න.ඒ හින්ද මං හිතන්නේ බොහෝ දුරට උතුරේ ජනතාව සමහර අවස්ථාවල ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනවිල්ලා තියෙනවා. අපි රටට අවධාරණය කරන්න කැමති. එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්. ඔවුන්ට ඉඩකඩක් නැහැ ඔවුන්ගේ ලාංඡන යොදා ගනිමින් ඔවුන්ගේ ඡායාරූප යොදා ගනිමින් මහවිරු සැමරුම් කරන්න”

තවද මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් පිළිබඳව විමසා බැලිණි. එහිදී දිවයින, News wire වැනි මාධ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදිව වාර්තා කර තිබෙනු අපට දැක ගත හැකි විය. 

මේ සියල්ල මඟින් ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් විකෘති කර මහජනතාව නොමඟ යවන ආකාරයෙන් අරුණ පුවත්පත පුවත නිර්මාණය කර ඇති බව පැහැදිලි වේ.

නිගමනය : එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට බාධාවක් නැහැ – මහජන ආරක්ෂක ඇමති  ප්‍රකාශ කළ බව සඳහන් පුවත්පත් ඡායාරූපයක් සහිත ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. ආරක්ෂක අමාත්‍යාවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නැත. ඔහුගේ ප්‍රකාශය විකෘති කර පුවත්පත් වාර්තාව නිර්මාණය කර ඇත. ඒ අනුව පුවත්පත් ඡායාරූපය සහිත ෆේස්බුක් සටහන මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.