Hashtag Generation

කේ. ඩී. ලාල් කාන්ත මහතා තවමත් රැඳී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයකද?

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසවල රැඳී සිටින බව සඳහන් වෙබ් පුවතක් දැකගත හැකි විය. පෙරටුගාමී සමාජවාදී ජනතා සංසඳයේ ආර්.කේ. ඉන්ඳ්‍රනන්ද ද සිල්වා විසින් මේ බව ප්‍රකාශ කළ බවද වෙබ් පුවතේ සඳහන් වී තිබුණි. තවද ජනාධිපති අපේක්ෂක නුවන් බෝපේගේ මහතාගේ මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක් වෙමින් ඉන්ඳ්‍රනන්ද මහතා ඒ බව ප්‍රකාශ කළ බවද වෙබ් පුවතේ සඳහන් වේ. ඊට අමතරව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් ද පළ වී තිබුණි.

එලෙස පළ වූ වෙබ් පුවතේ සහ සමාජ මාධ්‍ය සටහනේ තිර ඡායාරූපය පහතින් දැක්වේ.

“ලාල් කාන්ත  තවම ඉන්නේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවසේ” යනුවෙන් වෙබ් පුවතේ අවසන් පරිච්ඡේදයේ මුල සඳහන් වී ඇත.

එමෙන් ම මෙවැනි ප්‍රකාශයක් පෙරටුගාමී සමාජවාදී ජනතා සංසඳයේ ආර්.කේ. ඉන්ඳ්‍රනන්ද ද සිල්වා විසින් ප්‍රකාශ කර ඇත්දැයි සොයා බැලිණි. ජනාධිපති අපේක්ෂක නුවන් බෝපෙගේ මහතාගේ ජනහමුවක් අමතමින් ඉන්ඳ්‍රනන්ද මහතා මෙම ප්‍රකාශය සිදු කරනු ලබන වීඩියෝවක් (මිනිත්තු 03.52) අපට හමුවිය. 

ඒ අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා තවමත් මන්ත්‍රී නිල නිවාසවල රැඳී සිටිනවාද යන්න අප ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා හා වරප්‍රසාද අංශයෙන් විමසීමක් කරන ලදී. ඒ මහතාට පාර්ලිමේන්තු නිල නිවසක් ලබා දී නොමැති බවත්. ඔහු තවම නිල නිවාසයේ රැඳී සිටිනවා යන සටහන් ව්‍යාජ ඒවා බවත් පාර්ලිමේන්තුව තහවුරු කරන ලදී.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගෙන් විමසනු ලැබිණි. එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් කාලයක සිට ඔහු තම පෞද්ගලික නිවසේ රැඳී සිටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය. 

නිගමනය : කේ.ඩී. ලාල් කාන්ත මහතාට පාර්ලිමේන්තු නිල නිවාසයක් නොමැති අතර ඔහු මේ වන විට ඔහුගේ පෞද්ගලික නිවසේ සිටින බව තහවුරු විය. ඒ අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසවල රැඳී සිටින බවට පළ වූ පුවත් සහ සටහන් ව්‍යාජ ඒවා බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.