Hashtag Generation

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපවිත්‍ර වී ඇති බව සදහන් පුවත අසත්‍යයි.

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම ගංවතුරෙන් යටවිය. ගංවතුර තත්ත්වය සමඟ ඇතැම් ප්‍රදේශවලට පානීය ජල ගැටලු ද ඇති විය. මෙවන් පසුබිමක කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල ජලය අපවිත්‍ර වී ඇති බවත් මේ නිසා වමනය පාචනය වැනි රෝග වාර්තා වී ඇති බවත් සඳහන් කරමින් පුවතක් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ ඊයේ (ජුනි මස 10 වෙනිදා) දිනයේ දී හුවමාරුවනු දැක ගත හැකි විය.

එලෙස වට්ස්ඇප් (Whatsapp) මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවතේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

“කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපවිත්‍ර වී ඇතැයි සැක කෙරේ. වමනය සහ පාචනය වැනි රෝග අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත. උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියී” යනුවෙන් එම පුවතේ සඳහන් වී තිබුණි.

මෙම පුවත වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් සංසරණය වී තිබීම හා මෙමඟින් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ට බලපෑමක් ඇතිවිය හැකි බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට හෑෂ්ටැග්  පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් ම කොළඹ නගර සභාවේ ජලාපවහන සහ ජලසම්පාදන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරුවරයාගෙන් මෙම පුවත සම්බන්ධයෙන් විමසීමක් කළේය. මෙවැනි  පුවතක් මේ වනතෙක් ඔවුන්ට වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් වීමසීමක් කරන ලෙසත් කොළඹ නගර සභාවේ ජලාපවාහන සහ ජල සම්පාදන අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අප වෙත පැවසීය.

ඉන්පසුව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් විමසනු ලැබිණි. එහිදී ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු එච්.එම්.පී.එන් හේරත් මහතා අප හා සම්බන්ධ විය. මෙවැනි පුවතක් ඔවුන්ටද නිරීක්ෂණය වූ අතර එහා ක්‍රියාත්මක වෙමින් ඔවුන් කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශ කිහිපයකම ජල සාම්පල පරීක්ෂා කිරීමක් සිදුකළ නමුත් එම කිසිඳු ජල සාම්පලයක අපවිත්‍ර වී ඇති තත්ත්වයක් හඳුනා ගැනීමට නොහැකිවූ බව හේරත් මහතා පැවසීය. තවද මේ වන විටත් ජල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් මේ වන තෙක් පානීය ජලය අපවිත්‍ර වී බවක් වාර්තා නොවූ බවත් ඒ මහතා පැවසීය. මෙම පුවත බොහෝ විට ඇතැම් කණ්ඩායම්වල වාසි සහ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සංසරණය වූවක් විය හැකි බවත් මෙය මහජනතාව නොමග යැවීමට නිර්මාණය කරන ලද පුවතක් විය හැකි බවත් හේරත් මහතා වැඩිදුරටත් අප වෙත පැවසීය.

තවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ගීතිකා රත්නවර්ධන මහත්මියගෙන් විමසනු ලැබිණි. මෙය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවත් මේ වනතෙක් එවැනි කිසිඳු තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් වෛද්‍යතුමිය අප වෙත පැවසුවාය. කොළඹ සහ  තදාසන්න  ප්‍රදේශ රැසකට ජලය සපයනු ලබන්නේ නළ මාර්ග ඔස්සේ බව සහ ගංවතුර තත්ත්වය නිසා කිසිඳු ආකාරයකින් ජලය අපවිත්‍ර වීමේ හැකියාවක්⁣ නොමැති බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැහැදිලි කළාය.  එසේම නළ මාර්ග ඔස්සේ ජනතාව වෙත බෙදා හරින ජලය පිරිපහදුවට ලක්කළ ක්ලෝරීන් ජලය නිසා රෝග ඇති වීමේ හැකියාව ඉතා අඩු බව වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය පැවසුවාය. කෙසේ නමුත් මේ දිනවල ජලය උණුකර නිවා පානය කිරීම වඩාත් සුදුසු බවත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය පැවසුවාය.

මේ සියලු තොරතුරු අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපවිත්‍ර වී ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව පැහැදිලිය.

නිගමනය : කොළඹ හා ඒ තදාසන්න ප්‍රදේශවල පානීය ජලය අපවිත්‍ර වී ඇති බවත් ඒ නිසා වමනය, පාචනය වැනි රෝග වාර්තා වී ඇති බවත් සඳහන් කරමින් පුවතක් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල සිදුකළ ජල සාම්පල පරීක්ෂාවෙන් එවැනි තත්ත්වයක් තහවුරු නොවූ අතර මෙම පුවත මහජනතාව නොමඟ යවන ආකාරයෙන් හුවමාරු වන්නක් බව අප කළ විමසීමේදී ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල  ජලය අපවිත්‍ර වී ඇති බව සඳහන් පුවත අසත්‍ය බව නිගමනය කළ හැකිය.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.