Hashtag Generation

ජනතාවගේ බැංකු ගිණුම්වල ඇති තැන්පත් මුදල් ආණ්ඩුවට වියදම් කිරීමට ලබා ගන්නා බව සුනිල් හඳුන්නෙත්ති පැවසුවාද?

සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස නෙත් FM නාලිකාවේ Neth Fm Unlimited වැඩසටහන සදහා සම්බන්ධ වී ඇත. එම වැඩසටහන තුළදී මාධ්‍යවේදීයා ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දී ඇති අතර එය දීර්ඝ පැහැදිලි කිරීමකි. නමුත් එම පිළිතුරු ලබා දීමේ විඩියෝවේහී කොටසන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනස් වූ ආකාරයට මැතිවරණ වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගෙන ඇත. එහී තිර ජායාරූපයක් පහතින් දැක්වේ.

එම වෙළඳ දැන්වීම නැරඹීමට මෙතැනින්.

අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කළ අතර අපි මුලින්ම සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ වූ Neth Fm Unlimited වැඩසටහන නැරඹුවෙමු. ඉන් පසුව අපට තහවුරු කර ගැනීමට හැකි වූවේ ඔහු මාධ්‍ය වේදියා ඇසූ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දී ඇති අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විඩීයෝ කොටස පමණක් නොව දීර්ඝ පැහැදිලි කිරීමේ විඩීයෝවක් බවයි.

Neth Fm Unlimited වැඩසටහන් සංවාදය තුළ මාධ්‍යවේදීයා හඬ නැගූ ප්‍රශ්නයට සුනිල් හඳුන්නෙත්ති  මහතා පිළිතුරු ලබා දුන් ආකාරය කෙටියෙන් පහත පරිදි වේ.

මාධ්‍ය වේදියා නැගු ප්‍රශ්නය,

තව දවස් එකොලහකින් අලුත් අවුරුද්දක් ආරම්භ වෙනවා. ඒත් එක්කම අලුත් ගෙවීම් ක්‍රමයකට ජනතාවට හුරු වෙන්න සිද්ධ වෙනවා. මන් හිතන්නේ විපක්ෂයට ජනතාව අතරට අරන් යන්න ආණ්ඩුවට වඩා වාසිදායක කාරණයක්. සමහර අයිතම් සඳහා නොතිබුණ වැට් එකක් ඒ කියන්නේ 18% ක් වෙලා. බදු අය කරපු අයිතම් සඳහා 15% තිබුණ වැට් එක 18% ක් වෙලා. නමුත් මේවා ආණ්ඩු සහා විපක්ෂ විදියට බෙදාගෙන කතා කරනවා වෙනුවට ඇත්තටම සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා විකල්පයක් තියෙනවද මේ වෙලාවේ.ඒ හැරුණු කොට රජයකට.

සුනිල් හඳුන්නෙත්ති මහතාගේ පිළිතුරු වන්නේ “මෙවැනි ගැටළුවකට ආණ්ඩුව වියදම් කළමනාකරණය කළ යුතුයි. ආණ්ඩුව ආදායම තියෙනවා කියලා අයවැයෙන් කියලා තියෙන්නේ බිලියන 4164 ක්. ඒත් ආණ්ඩුවේ වියදම් 11000 ක් කියලා තමයි කියලා තියෙන්නේ.

රජයේ සාමාන්‍ය කටයුතුවල වියදමයි, ණය වාරිකේ පොළිය ගෙවන්නයි, ණය වාරිකේ ගෙවන්නයි. අපි ඕකෙන් 4000 ක් ම පැත්තකට කරමු ණය ගෙවන්නේ නෑ කියලා. එතකොට තව 7000 ක් තියෙනවා. සාමාන්‍ය කටයුතු වියදම් කරන ගාණ  4000 ක් වුනොත් දළ වශයෙන් තව 3000ක් හොයන්න ඕන. ණයට බිලියන 1000 ක් තව ගත්තත් තව බිලියන 2000ක් හොයන්න ඕන.

මේ 2000 හොයා ගන්නනම් අනිවාර්යයෙන් මේ තියෙන රාජ්‍ය  ව්‍යාපාර, ආයතන, වෙන්දේසි කරලා වගේ විකුණන්න දාලා තියෙන ඒවා විකුණන්න වෙනවා ඒක එක උත්තරයක්. 

නැත්නම් සල්ලි අච්චු ගහන්න වෙනවා, නැත්නම් බැංකු වල තියෙන සල්ලි තැන්පත් කරුවන්ගේ ඒවා ආණ්ඩුවට ගන්න වෙනවා. වියදම් කරන්න ඔය උත්තර තුන තමයි තියෙන්නේ මම ඉගෙන ගත්ත විදියට. 

ඒත් ඔය බැංකු වල තියෙන සල්ලි ව්‍යාපාරිකයන්ගේ වෙන්න පුළුවන්. එයලා ව්‍යාපාරවලට යොදවන සල්ලි වෙන්න පුළුවන්. ඒවා කර්මාන්ත වලට ව්‍යාපාර වලට ණය නොදී ආණ්ඩුව ගත්තොත්, ආයේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ව්‍යාපාර වලින් ලැබෙන වැට් බදු ඒක ගන්න වෙන්නේ නෑ. මේක පරස්පරයි. “

මෙවැනි ආකාරයට ඔහු පිළිතුරු ලබා දී ඇත.

මාධ්‍යවේදීයා හඬ නැගූ ප්‍රශ්නයට සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන් වීඩීයෝව නැරඹීමට මෙතැනින්.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමෙන් පසු සුනිල් හඳුන්නෙත්ති මහතා මෙවැනි ගැටළුවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විසදන ආකාරයද පැහැදිලි කරනු ලබයි. එය නැරඹීමට මෙතැනින්.

අපි ඉන් පසුව මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කළෙමු. ඔහු එහිදී අපට පිළිතුරු ලබා දුන්නේ “එය රටේ ඇති බදු බර සහා ණය පියවීමට ඇති විසදුමක් ලෙස මාධ්‍ය වේදීයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් බවයි”. ඔහු පවසා සිටියේ එම වැඩසටහන නැරඹීම තුළින් ඕනෑම පුද්ගලයෙකුට තමා අදහස් කරන කරුණ තේරුම් ගත හැකි බවයි.

නිගමනය : Neth Fm Unlimited වැඩසටහන් සංවාදය තුළ දී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරනු ලබන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාවගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ආණ්ඩුවට පවරාගෙන ආණ්ඩුවේ ගැටළු විසදාගැනීමට පියවර ගන්නා බව නොවේ. එහිදී ඔහු ප්‍රකාශ කරනු ලබන්නේ වර්තමාන ආණ්ඩුවට ගැටළු විසදාගැනීමට හැකි පිළියමක් ලෙස එය සිදු කළ හැකි බවයි. එය 2023 වසරේ දෙසැම්බර් 21 පළකර තිබෙන Neth Fm Unlimited වැඩසටහන් සංවාදයේ යුටියුබ් විඩීයෝව නැරඹීම තුළින් තහවුරු කර ගැනීමට හැකි විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.