Hashtag Generation

ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා දෙන බවට පවසමින් රෝග කිහිපයක් ඇතුළත් කර සැකසු ලිපිය ව්‍යාජ වේ.

2024 වර්ෂයේ නව ආණ්ඩුව පත්වීමත් සමග රාජ්‍ය ආයතන මගින් ජනතාවට සහන සලසන බවට පෙන්වා දෙන ව්‍යාජ පණිවුඩ පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එවැනිම ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පණිවුඩයක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉහත පණිවුඩයේ දැක්වෙන්නේ මෙය ජනාධිපති අරමුදලින් සිදු කරන බවයි. එම හේතුව මත අප මෙවැනි කටයුත්තක් ජනාධිපති අරමුදලින් සිදු වනවාද යන්න සොයා බැලුවේය.  ඒ සඳහා අප මුලින්ම ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියට පිවිස මෙවැනි තොරතුරු ඇතුළත් සටහනක් ඔවුන් පළ කර ඇත්ද යන්න සොයා බැලුවෙමු. නමුත් මෙවැනි තොරතුරු ඇතුළත් සටහනක් අපට සොයා ගැනීමට නොහැකි විය. 

ඉන් පසුව අප ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවේය. 

මෙවැනි තොරතුරු ඇතුලත් සටහනක් මෑතකදි පළ නොකළ බවත්, එසේ සිදු කලානම් එවැනි තොරතුරු නිල වෙබ් අඩවිය තුළ ඇතුළත් කරන බවත් ඔහුගේ පිළිතුර විය. ජනාධිපති අරමුදලින් යම්‍ යම් රෝග සඳහා මුදල් ලබා දෙනු ලැබුවද ඒ සියලු තොරතුරු නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති බව ඔහු පවසා සිටියේය. මෙලෙස වට්ස්ඇප් ඔස්සේ සංසරණය වී ඇත්තේ ජනාධිපති අරමුදල් කාර්යාලයෙන් නිර්මාණය කළ සටහනක් නොවන බව ඔහු තහවුරු කළේය.

තව දුරටත් අප මෙහි කරුණු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති අරමුදල් කාර්යාලයේ වගකිව යුතු නිලධාරීයෙකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. මේ සම්බන්ධයෙන් ඔහුගේ තහවුරු කිරීම පහත පරිදි වේ.

මෙය ජනාධිපති අරමුදල් කාර්යාලය විසින් නිර්මාණය කරන ලද සටහනක් නොවන බවත්, එවැනි තොරතුරක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සියලු තොරතුරු නිල වෙබ් අඩවිය තුළ ඇතුළත් කරන බව පවසා සිටියේය. තව ද මෙවැනි තුන්වන පාර්ශවයක් විසින් නිර්මාණය කරන ලද සටහන් සඳහා වගකීමක් බාර නොගන්නා බවද පැවසුවේය. එම නිසාවෙන් ඕනෑම පුද්ගලයකුට ජනාධිපති අරමුදල සම්බන්ධ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

තවද ඔහු අපට ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යාධාර ඉල්ලුම්කිරීමට අවශ්‍ය වන නිවැරදි ඉල්ලුම්පත සහ උපදෙස් පත ඇතුළත් සබැඳියක් ලබා දුන්නේය. එම සබැදියට පිවිසීමට මෙතැනින්.  එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත ඉල්ලුපත් නිවැරදි ඒවා නොවන බැවින් ඒවා සම්පුර්ණ නොකරන ලෙසද සෑම විටම නිවැරදි තොරතුරු සඳහා නිල වෙබ් අඩවිය වෙත යොමු වන ලෙස ඔහු  ඉල්ලා සිටියේය. 

නිගමනය : ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා දෙන රෝග කිහිපයක් ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනාධිපති අරමුදල් කාර්යාලය තහවුරු කරන ලදි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.