Hashtag Generation

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඉන්දියාවේ දී ක්‍රිස්තියානි දේවස්ථානයකට ගියා ද ?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම්  විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු පිරිසක් ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව පෙබරවාරි මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා එරට සංචාරයක නිරත වූහ. 

එම සංචාරයේ දී ජාතික ජන බලවේගයේ (ජා.ජ.බ) දූත පිරිස  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන අය හමු වී සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව ඔවුහු නවදිල්ලිය, අහමදාබාද් සහ තිරුවානන්තපුරම් යන නගරවලදී ඉන්දීය රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර රාජ්‍ය ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවලට එක්වූහ.  

ජාතික ජන බලවේගයේ මෙම සංචාරයෙන් අනතුරුව ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වී තිබෙනු දක්නට ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බෞද්ධ සහ ආගම් විරෝධී පුද්ගලයකු බවත් මෙරට දී බෞද්ධ සිද්ධස්ථානයකට හෝ නොයන නමුත් ඔහු ඉන්දියාවේ දී  “ක්‍රිස්තියානි පල්ලිවල”  සංචාරයේ යෙදි ඇති බවත් හැඟවීම සඳහා නිර්මාණය කර තිබු සමාජ මාධ්‍ය සටහන් ඒ අතර ප්‍රධාන වශයෙන් දක්නට ලැබිණි. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබු සටහන් කිහිපයක් පහතින් දැක්වේ.


ජාතික ජන බලවේගය ඔවුන්ගේ ඉන්දීය සංචාරයේ පස්වැනි දිනය සම්බන්ධයෙන් පෙබරවාරි 9 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමඟ ප්‍රසිද්ධ කරතිබූ ඡායාරූපයක් එම සමාජ මාධ්‍ය සටහන්වලට ඇතුළත්ව තිබිණි. අනුර කුමාර දිසානායක ඇතුළු ජා.ජ.බ පිරිස සහ තවත් පිරිසක් ක්‍රිස්තියානි දේවස්ථානයක් යැයි අනුමාන කළ හැකි ගොඩනැගිල්ලක් ඉදිරියේ ඡායාරූපයකට පෙනී සිටින අයුරු අදාළ ඡායාරූපයෙන් දිස් වේ.  

ජා.ජ.බ පිරිස එදින සංචාරයේ යෙදුණේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරළ ප්‍රාන්තයේ බවත්  එහි දී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය පී. රජීව් හමුවූ බවත් අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. ඉන් අනතුරුව ජා.ජ.බ. කණ්ඩායම වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) පාලන මැදිරියේ හා එම අභ්‍යවකාශ කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ බවත් එහි දැක්විණි. 

එමෙන්ම ජා.ජ.බ පිරිස ටෙක්නොපාක් (Technopark), ජීටෙක් (G Tech), කේරළ විශ්වවිද්‍යාලය යන ආයතන මෙන්ම තිරුවානන්දපුරම් අගනුවර දකුණු දෙසින් පිහිටි වෙරළබඩ ගම්මානයක් වන වෙල්ලාර් නගරයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ බව ද එම මාධ්‍ය නිවේදනයේ දැක්විණි. 

මෙම සටහන්වල දැක්වෙන ඡායාරූපය කවර ස්ථානයකදී ලබා ගත් ඡායාරූපයක් ද ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් විමසීය. එය ඉන්දීය සංචාරයේ පස්වැනි දිනයේ දී වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කළ සංචාරයේ දී ගත් එකක් බව ඔහු පැවැසීය. 

අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා තිබෙන භූමියේ ‘දේවස්ථාන ගොඩනැගිල්ලක්’ ඇති බවත් ජා.ජ.බ පිරිස ක්‍රිස්තියානි දේවස්ථානයක සංචාරයේ නොයෙදුණු බවත් එසේ සඳහන් පණිවුඩ අසත්‍ය බවත් උපුල් රන්ජන් පැවැසීය. 

පස්වැනි දිනයේ නිල සංචාරය යෙදී තිබුණු ස්ථාන අතර කිසිදු දේවස්ථානයක් ඇතුළත් නොවූ බව ඔහු තහවුරු කළේ ය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ලබා ගත් තවත් ජායාරූප කිහිපයක් උපුල් රන්ජන්, වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ අප වෙත එවා තිබිණි. එම ඡායාරූප මාධ්‍ය වෙත ද නිකුත් කර තිබිණි.

උපුල් රන්ජන් ලබාදුන් තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහාත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස සිටින ඡායාරූපයේ තිබු ගොඩනැගිල්ල කුමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහාත් අප Google Images භාවිත කළේ ය. ඉහත ඡායාරූපයේ දැක්වෙන දේවස්ථානය වික්‍රම් සාරාබයි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබෙන දේවස්ථානය බව එහිදි නිරීක්ෂණය විය. 

දේවස්ථාන ගොඩනැගිල්ල අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ම කොටසක් බවත් එය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන බවත් එහිදි සොයාගැනීමට හැකි විය. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ ද ඒ බව සඳහන් කර ඇත. දේවස්ථාන ගොඩනැගිල්ල දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේම කොටසක් වන අතර එහි අභ්‍යාවකාශ කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යයි. 

තුම්බා යන ධීවර ගම්මානයකට අයත්ව තිබු ශාන්ත මරිය මග්දලේනා නමින් හැඳින්වූ දේවස්ථානය සහ අක්කර  800ක පමණ ඊට අයත් භූමි භාගය  ලතින් ක්‍රිස්තියානි සභාව 1962 වසරේ දී ඉන්දීය රජයට පවරාදුන් බව මෙහි ඉතිහාසය සොයා බැලීමේ දී දැනගන්නට ලැබිණි. 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඉන්දීය සංචාරයේ දී දේවස්ථානයක් ඉදිරිපිටදි ලබාගත් ජායාරූපයේ සහ අනෙක් ඡායාරූපවල ඇති දේවස්ථාන ගොඩනැගිල්ල එක හා සමාන බව ඒ අනුව අනුමාන කළ හැක.

ඉන්දියාවේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආචාර්ය ශෂී තරූර් තැබූ සමාජ මාධ්‍ය සටහනක් එහිදි සොයාගැනීමට හැකියාව ලැබිණි. 

දේවස්ථානය පිහිටි භූමිය පෘථිවි චුම්බක සමකයට ආසන්නව පිහිටීම  හේතුවෙන් රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගත්තේ යැයි ද එම විස්තරවල සඳහන් වේ. 

ඒ අනුව දේවස්ථාන ගොඩනැගිලි පිහිටි භූමි පරිශ්‍රයේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටවූ බවත්, පසුව තවත් ගොඩනැගිලි එකතු වී 1985 දී වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බිහි වූ බවත් ඉතිහාස විස්තරවල තවදුරත් සඳහන් වේ. 

නිගමනය : ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියානු සංචාරය තුළදි ක්‍රිස්තියානි  දේවස්ථානයක සංචාරයක යෙදී නැති බව ඉහත කරුණු නිගමනය කළ හැකි ය. අනුර කුමාර දිසානායක දේවස්ථානයක සංචාරය කළ බව කියන සටහන් අසත්‍ය වන අතර ඒවාට භාවිත කර ඇති ඡායාරූපවල දැක්වෙන දේවස්ථාන ගොඩනැගිල්ල ද  වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ම කොටසකි. එය කලින් දේවස්ථානයක් වුව ද පසුව රජයට පවරා දී ඇති අතර පසුකාලීනව එහි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටසක් බවට පත්ව ඇති අතර දැන් එය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කෞතුකාගාරයක් ලෙස භාවිත කෙරේ. 

   අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.