Hashtag Generation

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් නොවේ.

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් කරමින් X පණිවුඩයක් සංසරණය විය.

X මාධ්‍යයේ සංසරණය වූ පණිවුඩයේ තිරඡායාරූපයක් පහතින් දැක්වේ.

පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කිරීම, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහළින් ම සඳහන් වී ඇති බව මෙම X පණිවුඩයේ සඳහන් වී ඇත. 

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ දිනයේදී (2024 අගෝස්තු 26) පැවැත්විණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පරිච්ඡේදයේ “ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක්” යන තේමාව ඔස්සේ මෙරට අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්තීන් ඇතුළත් කර ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බවට කිසිඳු ප්‍රතිපත්තියක් ඒ තුළ ඇතුළත් වී නැත.

එහි දක්වා ඇති පෞද්ගලික අධ්‍යාපනය යන කොටස තුළ “පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පාඨමාලා නියාමනය කිරීම සඳහා රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන නියාමන ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටවනු ඇත”. යනුවෙන් පමණක් සඳහන් වී ඇත.

ජාතික ජන බලවේගයේ  ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් සඳහන් කොටසේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් නොවේ. මේ අනුව ජාතික ජන බලවේගයේ රජයක් යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් X පණිවුඩය මහජනතාව නොමඟ යවයි.

නිගමනය: ජාතික ජන බලවේග රජයක් තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කිරීම ඉහළින් ම සඳහන්ව  ඇති බව ප්‍රකාශ කරමින් X පණිවුඩයක් සංසරණය විය. ජාතික ජන බලවේගයේ  ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් නොවේ. ඒ අනුව පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉවත් කරන බව සඳහන් X පණිවිඩය මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.