Hashtag Generation

“ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” යනුවෙන් අනුර කුමාර කළා යැයි කියන ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි.

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉකුත් සති කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ විවිධ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබිණි.  මේ අතරවාරයේ දී ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ජැක්සන් ඇන්තනී මහතා ගැන කළා යැයි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වන අයුරු දක්නට ලැබිණි. 

“ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කළා යැයි කියන සටහන් ඉකුත් දින කිහිපයේ දී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ශීඝ්‍රයෙන් හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි.  

එලෙස සංසරණය වූ ෆේස්බුක් සටහන් කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත. 

ජාතික ජන බලවේගය මේ වසරේ ජනවාරි මාසයේ දී කලාවැව ආසන සමුළුවක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක මහතා රැස්ව සිටි පිරිස අමතමින් කරන කතාව මුල් කර ගනිමින් මෙම ෆේස්බුක් සටහන් නිර්මාණය වී ඇති බව නිගමනය කළ හැකි ය.

එම කතාවේ 24:40 මිනිත්තුවේ දී අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත. 

“මේ ජාවාරම්කාර මාධ්‍ය අයිතිකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ මත පොම්ප කරන්නේ. මහින්ද රාජපක්ෂව නේද පොත් ලියලා ගීත ලියලා, චිත්‍රපටි හදලා, ඒවා පෙන්නලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා අන්තිමේටම කිව්වා මොකක් ද ජැකසන් ඇන්තනී මහත්තයා කිව්වා මහින්ද රාජපක්ෂ බුදුන්ගේ ඥාතීන් කිව්වා. ගිරවාපත්තුවේ සුද්ධෝදන රජ්ජුරුවෝ, ශාක්‍ය වංශෙ සම්බන්ධයක් තියෙනවා ගිරවාපත්තුවට, ඒ ගිරවාපත්තුවෙන් පැවත එන්නේ බුදුහාමුදුරුවන්ගේ ඥාතීන් කිව්වා. කිසි ඉතිහාසඥයෙක් ප්‍රශ්න කළේ නෑ. කිසි සමාජ විද්‍යාඥයෙක් ප්‍රශ්න කළේ නෑ. ඇයි? මේ මාධ්‍යවලින් පුම්බලා හැදුවා කට්ටියට හිතුනා වෙන්නත් බැරි නෑ කියලා. එහෙමයි මාධ්‍ය මේගොල්ලො හැදුවේ. පහුගිය ජනාධිපතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවලින් හැංගුවා.”

ජැක්සන් ඇන්තනී මහතා ඉතිහාසය මුල් කරගනිමින් කළ ප්‍රකාශයට මාධ්‍ය අනවශ්‍ය ප්‍රචාරණයක් ලබාදුන් බවට අනුර කුමාර දිසානායක මහතා එහිදි චෝදනා කරයි. එම කතාවේ දී මාධ්‍ය විවේචනය කරන අනුර කුමාර දිසානායක මහතා එම ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රකාශය, එක් දේශපාලන පක්ෂයක අරමුණු වෙනුවෙන් භාවිත කළ බවට ද චෝදනා කරයි. 

කෙසේ නමුත් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ දැක්වෙන පරිදි අනුර කුමාර දිසානායක මහතා කිසිදු අවස්ථාවකදී, “ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” යනුවෙන් ප්‍රකාශ කර නොමැත.

නිගමනය : ඒ අනුව “ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක්” ලෙස අනුර කුමාර දිසානායක ප්‍ර්‍රකාශ කළ බවට සමාජ මාධ්‍යවල පළ කරන සටහන් මහජනතාව නොමඟ යවන්නේ යැයි නිගමනය කළ හැකි ය.  එම සටහන්වලට පාදක වී ඇත්තේ  ජාතික ජන බලවේගයේ කලාවැව ආසන සමුළුවේදී අනුර කුමාර දිසානායක මහතා කළ කතාවයි. එම කතාවේ දී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක මහතා සිදු කර නොමැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.