Hashtag Generation

ත්‍රිවිධ හමුදාව වෙනත් රටවල යුද්ධවලට යැවීමෙන් ඩොලර් උපායා ගත හැකි බවට සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරාද?

ශ්‍රී ලංකාව දැනට පසු කරමින් සිටින්නේ වැදගත් මැතිවරණ කාලයකි. එම නිසා විටින් විට විවිධ දේශපාලන පක්ෂ සහා පක්ෂ නායකයින්, පක්ෂ සමාජිකයින් සම්බන්ධ කර ගනිමින් පණිවුඩ සංසරණය වීමක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වී තිබේ. ඒ අතර මෑතකදී ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයේ සටහන් විශාල වශයෙන් සංසරණය විය. එවැනි ආකාරයට ඔහුව සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වු සටහනක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 

මෙවැනිම ආකාරයේ සටහනක් සහිත විඩියෝවක්ද පෞද්ගලික X ගිණුමකද දැක ගැනීමට හැකි විය. 

ඉහත පණිවුඩයේ දැක්වෙන්නේ  “හමුදාව ටෙන්ඩර් දමා පිටරට යුද්ධ වලට යවා ඩොලර් උපයනවා” ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළ බවයි.

කරුණු සුපරික්ෂාවේ දී මෙම සටහන 2022 වර්ෂයේ පෙබරවාරි මස විසිතුන්වන දින නෙත් FM නාලිකාව විසින් ප්‍රචාරය කල නෙත් FM Unlimited වැඩසටහනේ දී  සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කල ප්‍රකාශයක් අලලා නිර්මාණය කල සටහනක් බව අපට තහවුරු කර ගැනීමට හැකි විය. 

එම වැඩසටහටහන පිරික්සීමේ දී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබු සටහන් වල ඇතුලත්ව තිබු සිරස්තලයේ කියැවෙන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් අන්තර්ගත නොවන බව අපට නිරීක්ෂණය විය. 

එම විඩියෝ පටයේ 1:01:34 විනාඩියේ හි ඔහු මෙසේ ප්‍රකාශ කරයි :

“අපේ යුද්ධය අවසන් වෙනකොට හමුදා සෙබළුන් ලක්ෂ දෙකක් හිටියා. ලොකේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් මර්ධනය කරපු දියුණුම සන්නන්ධ කණ්ඩායමක් අපේ හමුදාව , එතකොට එයින් ලක්ෂයක් පිටරටවල්වලට යවන්න තිබුණා පිටරටවල්වලට යුද්ධය පුරුදු කරන්න. ටෙන්ඩර් කැදවන්න තිබුණා. අපේ ස්නයිපර් කණ්ඩායම් හොදම ස්නයිපර් කණ්ඩායම් කියලා යුධ විශේෂඥයන් කියනවා. ඉතින් මේවායින් පිරිසක් යවන්න තිබුණා. එහෙනම් ඩොලර් අපිට ඉබේම ලැබෙනවා”

නමුත් ශ්‍රී ලංකාවේ යුධ සෙබළුන් වෙනත් රටවල යුද්ධයන් සඳහා පිටත් කල යුතු බවක් එම වැඩසටහන තුළදි කිසිදු අවස්ථාවක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටින්නේ නැත. 

ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මහතා සිදු කල ප්‍රකාශය විකෘති කර, සටහන් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය කර ඇති බව තහවුරු විය. 

නිගමනය: ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් වෙනත් රටවල යුද්ධ සඳහා යැවීමෙන් ශ්‍රී ලංකාවට ඩොලර් ඉපැයීමට හැකි බවට සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුධමය තත්වයක් ඇති රටවල යුධ පුහුණුකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ යුධ සෙබළුන් යැවීමෙන් ඩොලර් ඉපැයීමට හැකි බවයි. මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවුඩය මහජනතාව නොමග යවයි.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.