Hashtag Generation

නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් නොවේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ උණුසුමත් සමග මහජන වේදිකාවල විවිධාකාරයේ කතා අසන්නට දකින්නට ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නිදහස් වෙළඳ ගිවිසුම් අවලංගු කරන බවට සඳහන්ව ඇති බව පසුගිය දා ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.  

“මා මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාගේ වැඩසටහන ඇහුවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. මං ඒකට කැමති වුණා. කැමති වෙලා ඇහුවා. ඒත් මට ප්‍රශ්න දෙකක් තියෙනවා කිව්වා. නැත්නම් ඇත්ත වශයෙන්ම මම එතුමාට ඡන්දය දෙන්න හිටියේ. එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. ඉතින් නිදහස් වෙළඳ ගිවිසුම නැතුව අපනයනය කරන්න බෑ නේ……..”

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති රටට බලපෑමක් ඇති කරන බැවින් සහ මෙරට වර්තමාන ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බැවින් මේ පිළිබඳව කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බවට සඳහන් ද යන්න විමසා බැලිණි. නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බව එහි සඳහන් නොවූ අතර නිදහස් වෙළඳ ගිවිසුම්  යාවත්කාලීන කර නව ගිවිසුම් ඇති කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජාත්‍යන්තර හා දේශීය වෙළඳපොළ පුළුල් කිරීම් සහ කාර්යක්ෂමතාවය යන කොටසේ සඳහන් විය.

එම කොටසට අදාළ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

 

තවද සැප්තැම්බර් නමවෙනිදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ මෙම ප්‍රකාශය පිළිබදව කරුණු දක්වන ලදී. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බව සඳහන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එහිදී පැවසීය. “පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ නව නිදහස් වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම ලෙස  වගන්තියක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 151 වෙනි පිටුවේ දක්වා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ව්‍යාජ බවත් විජිත හේරත් මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.

නිගමනය : ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නව වෙළඳ ගිවිසුම් අහෝසි කරන බව සඳහන් නොවේ. ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නව වෙළඳ ගිවිසුම් අහෝසි කරන බව සඳහන් බවට රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.