Hashtag Generation

“බංගලාදේශය වගේ අපිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා” ලාල්කාන්ත කියූ බව සඳහන් සිරස්තලය මහජනතාව නොමඟ යවයි.

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත විසින් බංගලාදේශය හා ශ්‍රී ලංකාවේ අරගලය අලලා සිදු කළ බවට සඳහන් ප්‍රකාශයක් මෙම සතිය තුල සමාජ මාධ්‍ය තුළ බහුල වශයෙන් සංසරණය විය.

“බංගලාදේශය වගේ අපිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා – ලාල්කාන්ත කියයි” යනුවෙන් එම වීඩියෝවේ සිරස්තලයේ සඳහන් වී තිබුණි. මෙම වීඩියෝව පසුගිය අගෝස්තු 8 වෙනිදා X සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබෙනු දැක ගත හැකි විය. එමෙන්ම ඒ් සිරස්තලය සහිතව සැකසු ෆේස්බුක් සටහන්ද බහුලව සංසරණය වී තිබුණු බව නිරීක්ෂණය විය. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබූ පුවතේ තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

“බංගලාදේශය වගේ අපිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියේ. නමුත් ගෝල්ෆේස් නායකයෝ ඒක වැළැක්වුවා. ලාල්කාන්ත කියයි” යනුවෙන් සිරස්තලය තුළ සඳහන් වී තිබුණි.

එම වීඩියෝව අගෝස්තු 6 වෙනි දින අද දෙරණ පුවත් විකාශයෙන් උපුටා ගෙන ඇති බව නිරීක්ෂණය විය.

මෙම සිරස්තලය සඳහන් වීඩියෝවේ අන්තර්ගත කරුණු කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර එය අද දෙරණ නාලිකාවේ අගෝස්තු 6 වෙනි දින විකාශනය වූ පුවත් විකාශයෙන් උපුටා ගන්නා ලද්දක් බව තහවුරු විය.
දේශීය ආදායම් වෘත්තිකයන්ගේ 16 වෙනි සමුළුව අද කොළඹදී පැවැත්වූ බවත් එය ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් පුවතේ සඳහන් විය.

එම වීඩියෝවේ උක්ත සිරස්තලයට පාදක වී ඇති කේ.ඩී.ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශය පහතින් දැක්වේ.

“පසුගිය කාලේ අපිටත් අවස්ථාවක් තිබුණා. ගෝල්ෆේස් අරගලයෙන් ගෝඨාව යැව්වට පස්සේ වහාම ගෝල්ෆේස් අරගලයේ ඒ ජනතා නැගිටීම හරවන්න ⁣තිබුණේ කොහාටද,පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා අපි එතනට බැස්සා ඒ වැඩේට. නමුත් අර විසිරිච්ච, පැතිරිච්ච පොදු ජන අරගලයේ තැන් තැන්වල හිටපු ඒ ගෝල්ෆේස් නායකයෝ කියන අය ඒක බ්ලොක් කරා. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් අර බිඳවැටුණු කුලුන යළි ගොඩ නැගුවා. එතකොට අර ගෝඨා පන්නපු එකෙන් සතපහක වැඩක් නෑ” 

නමුත් මෙහි කිසිඳු තැනක “බංගලාදේශය පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා වගේ අපිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා” වැනි ප්‍රකාශයක් අන්තර්ගත නොවේ. 

මේ පිළිබඳව වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අගෝස්තු 6 වෙනි දින අද දෙරණ නාලිකාවේ විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ අදාළ කොටස පිරික්සීමේ දී එහිද සිරස්තලයේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක් නොවිණි.

මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමක් කල අතර පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සහ කිරීමක් ලාල්කාන්ත මහතා විසින් කිසිඳු තැනක ප්‍රකාශ කර නොමැති බව ඔහු පැවසීය. 

ඒ අනුව X සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පණිවුඩයේ සිරස්තලය මහජනතාව නොමග යවන බවත් වීඩියෝවේ සඳහන් වූ කරුණු වෙනස් කොට ජනතාව නොමග යවන අයුරින් සිරස්තලය නිර්මාණය කොට ඇති බව පැහැදිලිය.

නිගමනය : “බංගලාදේශය වගේ අපිත් පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා – ලාල්කාන්ත කියයි” යන සිරස්තලය සහිත වීඩියෝවක් X සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. සිරස්තලය තුළ එලෙස සඳහන් වුවද වීඩියෝවේ එවැනි ප්‍රකාශයක් සඳහන් නොවේ. ඒ අනුව එම සිරස්තලය මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න