Hashtag Generation

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මලු විකිණීමට තිබේද?

රාජ්‍ය ආයතයක් යනු සෑම විටම පුද්ගලයින්ට වගකිව යුතු ආයතනයක් ලෙස සලකුණු ලබයි. රාජ්‍ය ආයතන අතීතයට සාපේක්ෂව වර්තමානයේ ඔවුන්ගේ පණිවුඩ බෙදා ගැනීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමක් දැක ගැනීමට හැකි වේ. නමුත් රාජ්‍ය ආයතන නම් භාවිතා කරමින් වෙනත් පුද්ගලයින්ද රාජ්‍ය ආයතන ලෙස විවිධ පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම දක්ක්නට ලැබෙයි. එලෙස බෙදා ගනු ලැබු පණිවුඩයක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

තවද මෑත කාලයේ පමණක් නොව පසුගිය වසර තුළද සමාජ මාධ්‍ය ගිණුම් මගින් මෙම පණිවුඩය බෙදා ගෙන ඇති බවට අපට සොයා ගැනීමට හැකි විය. එම පණිවුඩයේ තිර ඡායාරූපක්ද පහතින් දැක්වේ.

ඉහත පළමු ඡායාරූපයේ සඳහන් කර ඇත්තේ ගුවන්තොටුපළේ ගබඩා පිරිසිදු කර නැති වූ ගමන් මලු රුපියල් 639.00 කට විකීණීමට තීරණයක් ගෙන ඇති බවයි. මෙම පණිවුඩය විශාල පිරිසක් අතර බෙදා ගෙන තිබීම නිසාවෙන් හෑෂ්ටැග් පරපුර මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කලේය.

ඒ සඳහා අප මුලින්ම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන රුපවාහිණි මාධ්‍යක මේ සම්බන්ධයෙන් කිසියම් වූ පුවතක් වාර්තා වී ඇත්ද යන්න සොයා බැලීමයි. එහිදී අපට දැක ගැනීමට හැකි වුවේ සිරස නාලිකාවේ වෙබ් පිටුව තුළ 2024 ඔක්තෝම්බර් 20 දින මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවුඩය අසත්‍ය බවට පුවතක් වාර්තා වී තිබීමයි.

පසුව අප සිදු කරනු ලැබුවේ මෙම පණිවුඩය බෙදාගෙන ඇති සමාජ මාධ්‍ය ගිණුම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිළ ෆේස්බුක් ගිණුමද යන්න පරික්ෂා කර බැලීමයි. නමුත් එය නිළ ෆේස්බුක් ගිණුම නොවන බවට අපට තහවුරු කර ගැනීමට හැකි වූ අතර නිළ ෆේස්බුක් ගිණුම තුළ මෙම පණිවුඩය ව්‍යාජ බව සඳහන් කරමින් පණිවුඩයක් බෙදා ගෙන තිබුණි. එම පණිවුඩය පහතින් දැක්වේ.

ඉන් පසුව හෑෂ්ටැග් පරපුර සිදු කරනු ලැබුවේ මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම විසින් බෙදාගෙන ඇති ඡායාරූපය ගූගල් රිවස් ඉමේජ් ඔස්සේ පරික්ෂා කර බැලීමයි. ගූගල් රිවස් ඉමේජ් ඔස්සේ පරික්ෂා කරනු ලැබූ ඡායාරූපයට සමාන වූ ඡායාරූප ද්විත්වයක් අපට සොයා ගැනීමට හැකි විය. නමුත් එම ඡායාරූප වෙනත් රටවල භාවිතා කර ඇති ඡායාරූප ද්විත්වයකි. එයින් එක් ජායාරූපයක් පොටොරීකෝ වල ලුයිස් මියුනෝස් මැරීන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගීන්ගේ නැති වුන ගමන් මලු විකීනීමට ඇති බවට එම ඡායාරූපයම භාවිතා කර ෆේස්බුක් ගිණුමක පළ කර ඇති ඡායාරූපක් කරුණු පරීක්ෂා කරනු ලබන ආයතනයක් මගින් සිදු කළ කරුණු පරීක්ෂාවකි. එම කරුණු පරීක්ෂාවේ සඳහන් වන්නේ එය අසත්‍ය පණිවුඩයක් බවයි. එවැනි කිසිදු කටයුත්තක් එම ගුවන්තොටුපළේ සිදු නොවන බවයි. එම කරුණු පරීක්ෂාවට මෙතැනින්.

ගූගල් රිවස් ඉමේජ් ඔස්සේ අප පරීක්ෂා කරනු ලැබු ඡායාරූපයට සමාන වු අනෙක් ඡායාරූපය වන්නේ ඔස්ට්‍රියාවේ වියාණා ජාත්‍යන්තර  ගුවන්තොටුපළ හා සම්බන්ධව ෆේස්බුක් ගිණුමක පළ කර ඇති  වූ ඡායාරූපයකි. එම ඡායාරූපය භාවිතා කරමින් එම ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත්තේ වියාණා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගීන්ගේ නැති වුන ගමන් මලු විකිනිමට ඇති බවයි. එය අප පරීක්ෂා කර බැලු අතර එයට යොදාගෙන ඇත්තේද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් ෆේස්බුක් තුළ පළ කර තිබු ඡායාරූපයම වේ. ඉන් පසුව අප වියාණා ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් මෙම ඡායාරූපය පළ කර තිබූ ගිණුම පරීක්ෂා කර බැලූ අතර එයද ව්‍යාජ ගිණුමක් බව අපට තහවුරු කර ගැනීමට හැකි විය. වියාණා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිවැරදි ෆේස්බුක් ගිණුම තුළ මෙවැනි පණිවුඩයක් සඳහන් වී නොමැත.

ගූගල් රිවස් ඉමේජ් ඔස්සේ අපට තහවුරු කර ගැනීමට හැකි වූවේ මෙම ඡායාරූපය ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඡායාරූපයක් නොවන බවයි.

තව දුරටත් අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමේදි X ගිණුමක් තුළද මෙම ඡායාරූප ය පළ කර තිබීමක් දැක ගැනීමට හැකි විය. එයින් එක සටහනක් 2023 නොවැම්බර් 30 වන දින පළ කර තිබු සටහනක් විය. එම සටහනේ දැක්වෙන්නේද මාස 06කට වඩා පැරණි ගමන් මලු දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ගවල ඕ.ආර්. තම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දකුණු අප්‍රිකා මුදල් ලෙස සැලකෙන රෑන්ට් 38 කට විකීමට ඇති බවයි.

අපට තව දුරටත් දැක ගැනීමට හැකි වුවේ ජොහැන්ස්බර්ග් ගුවන්තොටුපළ නමින් නිර්මාණය කරනු ලැබූ ෆේස්බුක් ගිණුමකද මෙම ඡායාරූපය පළ කර ඇති බවයි. එම ෆේස්බුක් ගිණුම සහ එම ඡායාරූපද  ව්‍යාජ බවට ඕ.ආර්. තම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිවැරදි X ගිණුමේ පළ කර ඇති බවට ඉන් පසුව අප කළ පරීක්ෂාවේදි තහවුරු කර ගැනීමට හැකි විය. 

අප මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිතී ප්‍රධානී මල්පෙති  රත්නසිංහගේ යන අය‌ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කළෙමු. එහිදි ඇය සඳහන් කළේ , මෙවැනි ක්‍රියාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදු නොවන් බවත් , මෙය කිසියම් අයෙකු සිදු කළ ව්‍යාජ ක්‍රියාවක් බවයි. 

තවද ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර කියා සිටියේ මෙය අසත්‍ය තොරතුරක් බවත් එවැනි කිසිදු කටයුත්තක් ගුවන්තොටුපළේ සිදු නොවන බවයි. තව දුරටත් ඔහු පවසා සිටියේ මගීන්ට මග හැරුණු සහා නැතිවුන ගමන් මලු නිසියාකාරව ගුවන්තොටුපළේ තිබෙන බවත් ඒවා අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු කිසිදු මුදලක් අය නොකර අයිතිකරුවන්ට නැවත ලබා දෙන බවයි. එම නිසා මෙවැනි ව්‍යාජ පණිවිඩ වලට නොරැවටෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

නිගමනය : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගීන්ගේ අස්ථානගත වූ ගමන්මලු විකිණීමට තිබෙන ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවුඩය අසත්‍ය බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නීති ප්‍රධානී සහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේය. එමෙන්ම මෙම පණිවුඩය සඳහන් වූ සමාජ මාධ්‍ය ගිණුමද ව්‍යාජ බව තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.