Hashtag Generation

මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අච්චු ගැසුවාද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් මුද්‍රණය කල බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කීපයක ද සටහන් සංසරණය විය. 

එලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

“මහ බැංකුව රුපියල් බිලියන සියයකට ආසන්න මුදල් අච්චු ගසයි!” යන සිරස්තලය සහිතව සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වන බව පුවත් අන්තර්ගතය තුළ සඳහන් විය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා කතාබහක් ඇතිව තිබූ බැවින් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කර බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධව ගැටලු ඇති වීමත් සමඟ (2022) ශ්‍රී ලංකා මහ බැංකු පනත (2023 සැප්තැම්බර් 15) සම්මත කරන ලදී. මෙම ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව මෙරට මුදල් මුද්‍රණය තහනම් කරන ලදී. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සහ බැංකුවල ද්‍රවශීලතා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවට මෙතැනින් පිවිසෙන්න. 

තවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා  මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් හා සංචාරක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් දිල්ෂාන් චාමිකරගෙන් අපි විමසීමක් කළෙමු.

“බැංකුවල ද්‍රවශීලතාව කළමනාකරණය හරහා කෙටිකාලීන පොලී අනුපාත ස්ථාවරව පවත්වාගෙන යාමට ලොව ඕනෑම රටක මහ බැංකු විසින් විවෘත වෙළඳපොළ කටයුතු සිදුකරන බවත් එහිදී එක් දිනක් හෝ සතියක් වැනි කෙටි කාලයක් සඳහා ද්‍රවශීලතාව අඩු බැංකුවලට මහ බැංකුව විසින් ණය ලබාදීමක් සිදු වන බව ඔහු පැහැදිලි කළේය. අදාළ දිනයට ණය ගත් බැංකුව විසින් ආපසු එම මුදල් මහ බැංකුවට ලබා දෙන බවද ඔහු පැවසීය. මේ ක්‍රියාවලිය 2022 පැවති ආර්ථික අර්බුදයෙන් පසුව නිරන්තයෙන් සිදු වූවක් බවත් මෙය උද්ධමනය අවම මට්ටමකින් පවත්වා ගනිමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම මෙලෙස මුදල් අච්චු ගැසීම ලෙස සඳහන් කරමින් මහජනතාව නොමග යවන ආකාරයෙන් සංසරණය වන බවත් කිසිදු ආකාරයකින් නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් සිදු නොවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා බැලීමේදී අමාත්‍ය විජිත හේරත් විසින් මේ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් අපට හමු විය. භණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර කල් ඉකුත් වන විට ඊට සමානුපාතිකව අළුත් ඒවා නිකුත් කිරීම ශ්‍රී ලංකාව මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් එය නිරන්තරව සිදු වන ක්‍රියාවලියක් බවත් අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය හමුවේදී පැවසීය. මේ ක්‍රියවලිය සිදු වී ඇති බවත් එසේ නොමැතිව අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදු නොවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාව තුළ අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදු කළ නොහැකි බව විජිත හේරත් අමාත්‍යවරයා පැවසීය.

තවද මෙම මුදල් මුද්‍රණය කිරීමක් සම්බන්ධයෙන් පළ වූ වැරදි තොරතුර පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකු විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි. මුදල් මුද්‍රණය කිරීම සහ වර්තමානයේ සිදු වූ ක්‍රියාවලිය පිළිබදව පැහැදිලි කරමින් එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වර්තමාන තත්ත්වය පිළිබදව සිදු කර ඇති පැහැදිලි කිරීම පහතින් උපුටා දක්වා ඇත.

“වර්තමාන තත්ත්වය

බැංකු පද්ධතිය තුළ දිගු කාලීනව පැවති ද්‍රවශීලතාව බෙදී යෑමේ අසමතුලිතතාවය හේතුවෙන්, 2024 වසර තුළදී ශ්‍රී ලංකා මහා බැංකුව වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව ලබාදීම සඳහා නිරන්තරයෙන් විවට වෙළඳපළ මෙහෙයුම් කටයුතු සිදු කළේය. මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා අතරික්තයක් පැවතියද මෙම ද්‍රවශීලතාව අසමතුලිත ලෙස බැංකු අතර බෙදී පැවතීම නිසා දේශීය බැංකුවලට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ ණය ඉල්ලීම සපුරාදීම ඇතුළු ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහාද දෘෂ්ටියට අවශ්‍යතාවන් ඇතිවේ. රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහළට වැටීම හේතුවෙන් සමහර බැංකුවලට තවත් බැංකුවක් සමග ණය ගනුදෙනු කිරීම සඳහා දැඩි ලෙස සීමා පනවා තිබීම නිසා සමහර බැංකු දැඩි ද්‍රවශීලතා හිඟයකට මුහුණපා ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති විදේශීය බැංකුවලට අතිරික්ත අර මුදල් පැවතියද ඔවුන් සතු අතිරික්ත අරමුදල් මෙම සීමා නිසා තවත් බැංකුවකට ණයට දීමට නොහැකි වී ඇත. මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාව ලබාදීම තුළින් කෙටිකාලීන පොලී අනුපාතික විශේෂයෙන්ම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම සහතික කරමින් මෙම හිඟය සමනය කිරීමට හැකි වී ඇත. එවැනි මැදිහත්වීමක් නොකළේ නම් ආර්ථික කටයුතු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට මැද කාලීන උද්ධමන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන ලෙස බාධා ඇති කරමින් කෙටි කාලීන පොලී අනුපාතික දැඩි ලෙස ඉහළ යනු ඇත.”

තවද මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි  ගෙන්ද විමසීමක් කළේය. මෙය මහා බැංකුව විසින් දිනපතා බැංකුවලට මුදල් ලබා දෙන ක්‍රමවේදයක් බවත් මෙම මුදල් දවසකින් හෝ සතියකින් නැවත මහ බැංකුවට ලැබෙන බවත් ඒ මහතා පැවසීය. මූල්‍ය වෙළඳපොලේ පොලී අනුපාත ක්‍රමිකව අඩුකර ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා මෙම ක්‍රමවේදය සිදු කරන බවද ඔහු පැවසීය. මෙම ක්‍රමය මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදීගෙන රජයට ණය දෙන ක්‍රමවේදයට වඩා වෙනස් බවත් මේ ක්‍රමවේදයට අනුව බැංකු පද්ධතියට මුදල් ලබා නොදී රටක ආර්ථිකය වර්ධනය කිරීමට නොහැකි බවත් උමේෂ් මොරමුදලි වැඩිදුරටත් පැවසීය.

නිගමනය : ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ විය. ⁣මෙහිදී නව මුදල් මුද්‍රණය කිරීමක් සිදුවී නොමැති අතර උද්ධමනය අවම මට්ටමකින් පවත්වා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූල වන ක්‍රියාවලියක් පමණක් සිදුව ඇති බව අප කළ විමසීම් වලදී තහවුරු විය. මේ අනුව මුදල් මුද්‍රණය කළ බව සඳහන් කරමින් පළවූ සටහන් මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකියි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.