Hashtag Generation

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේ යැයි ප්‍රවෘත්ති වාර්තා පළ වී තිබූ අතර සමාජ මාධ්‍ය තුළ ද පුවත් සංසරණය විය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, පෙබරවාරි 10 වැනිදා පානදුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී දී කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙම පුවත සංසරණය වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (CID), සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසුවේ යැයි සඳහන් කරමින් ප්‍රවෘත්ති වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබිණි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පළමු අත්අඩංගුවට ගැනීම සිදුව යන අදහස ඇතිව මේ බොහෝමයක් ප්‍රවෘත්ති සහ සටහන් පළ වී තිබිණි. 

එලෙස සංසරණය වූ පුවතෙහි සහ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක තිර ඡායාරූප (screenshot) පහතින් දැක්වේ.

අද දෙරණ 24 නාලිකාවේ ඉංග්‍රිසි පුවත් විකාශයේ ද අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණි. අද දෙරණ 24 නාලිකාව අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහත අයුරින් උපුටා දක්වා තිබිණි. (10:53  මිනිත්තුවේ සිට මිනිත්තුව 11:45 මිනිත්තුව දක්වා)

ඊයේ පුද්ගලයෙකු CID ය විසින් අත්අඩංගුවට ගත්තා. හාර ලක්ෂ ගාණක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරගෙන අපිට මඩ ගහන පුද්ගලයෙක්. මේ පුද්ගලයාට දේශපාලනඥයෙක් තමයි සල්ලි දුන්නේ. කාරෙකෙන් කොටුවට ගිහිල්ලා ඩොලර් ටික මාරු කරගෙන සල්ලි ටික අතේ තියෙනකොට තමයි අත්අඩංගුවට පත්වුණේ. අපිටද රජයටද පොලිස්පතිතුමාට ඔය ඔක්කොටම මඩ ගහන පුද්ගලයෙක්. මේකට සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරනවා. ඒක හින්ද තමයි අපි මේ ඔන්ලයින්  සේෆ්ටි  බිල් එක ගෙනාවේ” .

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා කරන මෙම ප්‍රකශයේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවක් සෘජුව සඳහන් නොවේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව පමණි. 

මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ තවමත් අදාළ කොමිසම පත් නොකර ඇති අවස්ථාවක මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු කතාබහක් ඇති ව තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. එබැවින් හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීය.  

ඒ අනුව මේ සම්බන්ධයෙන් මුලින්ම නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළේ ය. 

මාර්ගගත පනත් කෙටුම්පත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා උපුටා දක්වමින් පළ ව තිබෙන ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා පොලිසිය හෝ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් තල්දූව මහතා පැවැසීය. 

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ප්‍රකාශය තුළ එවැනි  කරුණක් අන්තර්ගත නොවන අතර එහි සඳහන් වන්නේ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පිළිබඳව බවත් තල්දුව මහතා කීවේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ කොමිෂන් සභාවේ නිර්දේශයක් අනුව බවත් තවම මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ කොමිෂන් සභාවක් නම් කර නොමැති බවත් තල්දූව මහතා කීවේ ය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවද එය ව්‍යර්ථ විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම මහතාගෙන් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළේය.

අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත යටතේ  පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශයක් නොකළ බවත් යුක්තිය මෙහෙයුමට අදාළව යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් එහිදි ප්‍රකාශ කළ බවත් මාධ්‍ය ලේකම් මහේෂ් වික්‍රම සඳහන් කළේ ය. 

මේ සම්බන්ධයෙන් පළ වී ඇති ප්‍රවෘත්ති වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව සම්පූර්ණයෙන්ම නොමඟ යවන ආකාරයට වාර්තා කර ඇති බවත් වික්‍රම මහතා තවදුරටත් සඳහන් කළේ ය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉකුත් පෙබරවාරි දහවෙනිදා පානදුරේ පැවැති වැඩසටහනකට සහභාගී වී තිබූ අතර එහිදී කළ කතාවේ එක් කොටසක් පදනම් කරගනිමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් මෙලෙස ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබිණි.  එම වැඩසටහනේ දී අමාත්‍යවරයා කළ කතාවේ කිසිදු තැනක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවක් සඳහන් නොවේ. 

සමාජ මාධ්‍ය හරහා කෙරෙන වැරැදි හේතුවෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත වැනි පනත් ගෙන ඒමට සිදුව ඇති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් අදහස් වේ.  පානදුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනේ දී අමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාවට මෙතැනින් පිවිසෙන්න. 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් කර නොමැති බව ඉහත කරුණු සහ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේ දී පැහැදිලි වේ. 

නෛතික පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් නීතිඥ ඩී.එම්.දිසානායක මහතාගෙන් විමසීමක් කළේ ය. 

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ  වාර්තා කර තිබෙන්නේ මාධ්‍යවලින් පමණක් බවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට අනුව තවම කොමිසම නම් කිරීමක් සිදු කර නොමැති බවත්, කොමිසමේ නිර්දේශයකින් තොරව එලෙස අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවත් දිසානායක මහතා පැවසීය.

පනත ක්‍රියාත්මක වීමට නම් කොමිසම (මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව) පැවතිය යුතු බවත් කොමිසම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරු හෝ සටහන් අහිතකර අයුරින් ක්‍රියාත්මක වන බව හඳුනාගෙන පළමුව ඒවා ඉවත් කිරීමට උපදෙස් ලබා දී එය සිදු නොවුණහොත් පමණක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බවත් නීතිඥ දිසානායක මහතා පැවසීය. මේ තොරතුරු විමසා බැලූ කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට කෙරෙන ප්‍රකාශ බොරුවක් ලෙස සැලකිය හැකි බව දිසානායක මහතා තවදුරටත් පැවැසීය. 

නිගමනය: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපුටා දක්වමින් අදාළ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ ප්‍රවෘත්ති වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවන බවට ද මේ අනුව නිගමනය කළ හැකි ය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපිත කරන තෙක් පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කළ නොහැකි බව ඉහත දී කියැවිණි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.