Hashtag Generation

මැතිවරණ නිහඬ කාල සීමාව තුළ සමාජ මාධ්‍ය අත්හිටුවන බවට පළ වන සටහන් ව්‍යාජයි.

ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් සීමිත කාල සීමාවකි. මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් (සැප්තැම්බර් 18) පසු අවසන් වේ. ඉන්පසු එළැඹෙන මැතිවරණ නිහඬ කාල සීමාව තුළ සමාජ මාධ්‍ය අත්හිටුවීමට සූදානම් බවත් ඊට සූදානමින් VPN සූදානම් කර තබා ගන්නා ලෙසත් සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ.

 

මැතිවරණ නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අත්හිටුවන බව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් කර ඇති බව මෙහි ඇති එක් සටහනක සඳහන් වේ. එමෙන් ම ඊට සූදානමින් VPN බාගත කර සූදානම් කර ගන්නා ලෙස ඇතැම් සටහන් තුළ සඳහන් වේ. 

මැතිවරණ නිහඬ කාල සීමාව තුළ සමාජ මාධ්‍ය අත්හිටුවීමේ සූදානමක් පවතිනවාද යන්න අප මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසනු ලැබිණි. සමාජ මාධ්‍ය අත්හිටුවීමට හෝ සමාජ මාධ්‍ය අවහිර කිරීමට ඔවුන්ට කිසිඳු බලයක් නොමැති අතර ඔවුන් ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් නොකළ බවද පැවසීය. තවද එවැනි සූදානමක් මේ වන⁣ තෙක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් තහවුරු කරන ලදී.

එමෙන් ම මැතිවරණ නිහඬ කාල සීමාව තුළ සමාජ මාධ්‍ය අත්හිටුවීමේ සූදානමක් පවතිනවද යන්න විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසීය. ඔවුන් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් CERT (ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය) ආයතනයෙන් විමසන ලෙසත් ඔවුන් පැවසීය. 

ඒ අනුව අප CERT ආයතනයෙන් විමසීමක් කළ අතර එවැනි කිසිඳු සූදානමක් මේ වන තෙක් නොමැති බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් මුලින්ම මාධ්‍ය ආයතන දැනුවත් කරන බවත් සඳහන් කරන ලදී. 

මෙවැනි සටහන් මඟින් ජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය තොරතුරු හුවමාරු වීම බහුල නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නෙමු.

නිගමනය : මැතිවරණ නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය අත්හිටුවීමට කිසිඳු සූදානමක් මේ වන තෙක් නොමැති බව තහවුරු විය. ඒ අනුව සමාජ මාධ්‍ය අත්හිටුවන බව සඳහන් කරමින් පළ වන සටහන් අසත්‍ය ඒවා බව නිගමනය කළ හැකිය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.