Hashtag Generation

රැකියා විරහිත පුද්ගලයින් සඳහා රුපියල් 50000 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කළාද?

ශ්‍රී ලංකාවේ වර්තමාන කාලය මැතිවරණ උණුසුම සමග දිව යන කාල සිමාවක් කිවහොත් නිවැරදි වේ. එම නිසාවෙන් සමාජ මාධ්‍ය වල විවිධ පණිවුඩ දැක ගැනීමට හැකි වේ. රැකියා ලබා දීම්, සහනාධාර ලබා දීම්, ආධාර මුදල් ලබා දීම් වැනි ක්‍රියාවන් සුලබ ලෙස දැක ගැනීමට හැකි වේ. එවැනිම ආකාරයට පසුගිය දිනක තරුණයින් සඳහා මූල්‍ය දීමනාවක් ලබා දීම සම්බන්ධ පණිවුඩයක් වට්ස්ඇප් ඔස්සේ සංසරණය විය. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉහත පණිවුඩයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 විසින් රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක ප්‍රදාන අරමුදලක් අනුමත කර  ඇති බවත් ප්‍රතිලාභියකු වීමට අයදුම් කරන ලෙසත්ය. ඒ සඳහා අවසානයේ ඇති සබැඳිය ක්ලික් කරන්න ලෙස ද එහි ඉල්ලීමක් කර ඇත. 

මෙය ශ්‍රී ලංකා රජය සම්බන්ධයන් සංසරණය වී ඇති පණිවුඩයක් බැවින් එහි නිරවද්‍යතාවය පරික්ෂා කිරීම සඳහා අප ජනාධිපති මාධ්‍ය අංශයට දුරකතන ඇමතුමක් ලබා ගත් අතර එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නජිත් ඉන්දික මහතා අදහස් දක්වා සිටියේ මෙය රජය විසින් ගත් තීරණයක් නොවන බවත්  එවැනි කිසිදු මුදලක් ලබා දීමක්ද සිදු නොවන බවයි. එවැනි ක්‍රියාවන් වලට අසු වී තමන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස ඔහු  තව දුරටත් පවසා සිටියේය.

තව දුරටත් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. ඔහු පවසා සිටියේ මෙවැනි මුදලක් ලබා දීමක් අමාත්‍යාංශය විසින් සිදු නොකරන බවයි. ජනාධිපතිතුමා හෝ අමාත්‍යාංශය විසින් මෙවැනි තීරණයක් හෝ සාකාච්ජාවක් සිදු කර නොමැති බව ඔහු තව දුරටත් පවසා සිටි අතර අමාත්‍යාංශයේ නම හෝ රජය ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුලා කරන මෙවැනි පණිවුඩ වලට නොරැවටෙන ලෙස ඔහුද ඉල්ලා සිටියේය.

මෙලෙස වංචනික ආකාරයට නිර්මාණය කර ඇති අයදුම්පත් සඳහා පුද්ගලයින් තම පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් ඔවුන්ට සිදු වන හානිය පිළිබඳව අප මින් පසුව කරුණු විමසීමක් සිදු කලේය. ඒ සඳහා අන්තර්ජාල ආරක්ෂණය සම්බන්ධ ප්‍රවීනයෙකු වන අසේල වෛද්‍යාලංකාර දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.

ඔහු එහිදී අප සමග අදහස් බෙදා ගත් අතර ඔහු පවසා සිටියේ මෙවැනි වංචනික ලෙස ආයතන වල නම් අවභාවිතා කරමින් , ත්‍යාග සහ තෑගි මුදල් ලබා දෙන බව පවසමින්  නිර්මාණය වූ පණිවුඩ බෙදා ගැනීම දිගින් දිගටම සිදු වන බවයි. රාජ්‍ය ආයතනයක් කිසිදු විටෙක වට්ස්ඇප් වැනි මාධ්‍ය ජාලාවක් හරහා එවැනි කටයුතු සිදු නොකරන බැවින් ඕනෑම පුද්ගලයෙකු මෙවැනි පණිවුඩය තමන්ට ලැබුන විට එය කල්පනා කළ යුතු බවත් කෙසේ හෝ මෙවැනි සබැඳියක් තුළට ඇතුලු වීමෙන් තමන්ගේ පෞද්ගලික තොරතුරු වංචනික පුද්ගලයින් සතුවන බව ඔහු පවසා සිටියේය. 

තව දුරටත් ඔහු පවසා සිටියේ මෙය මුදල් ලබා දෙන සබැඳියක් බව හඟවන නිසාවෙන් බැංකු ගිණුම් අංක ආදිය ලබා දීමක් සිදු වන අතර ඉන් පසුව දිගින් දිගටම එහි ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමෙන් පුද්ගලයා නොදැනිම සියලු පෞද්ගලික විස්තර මෙයට ලබා දීමක් සිදු කරයි. ඉන් පසුව නොදැනිම තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් පවා වංචනික පුද්ගලයින් සතුවන බව ඔහු පවසා සිටියේය. එම නිසාවෙන් මෙවැනි වංචනික ක්‍රියා වලට අසු නොවන ලෙස ජනාතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය.

නිගමනය : ශ්‍රී ලංකා රජය රැකියා විරහිත සහා අර්බුධවලින් පීඩාවට පත් පුරවැසියන්ට රුපියල් 50000ක දීමනාවක් ලබා දීමට තීරණයක් ගෙන නැත. අප කළ කරුණු පරීක්ෂාවේදී එය ව්‍යාජ පණිවුඩයක් බව තහවුරු විය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.