Hashtag Generation

ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිගේ සහ තැපැල් ඇමතිගේ රුව සහිත මුද්දර නිකුත් කරාද?

2024 වර්ෂයේ ඔක්තෝම්බර් 09 වෙනි දිනට යෙදී තිබූ 150 වෙනි ලෝක තැපැල් දින සැමරුම ශ්‍රී ලංකාවේ ද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන අරාධිත අමුත්තන් වශයෙන් මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ විය. එහිදී අගමැතිනියගේ හා අමාත්‍යවරයාගේ රුව සහිතව මුද්දර නිකුත් කිරීම සම්බන්ධව විවිධකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුළ පළ විය. විශේෂයෙන් ම ලෝක තැපැල් දින සංවත්සරික මුද්දර වශයෙන් ඒවා නිකුත් වූ බවට ද සටහන් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණි.

එලෙස සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ.

මේ සම්බන්ධයෙන් විවිධ කතා බහ මෙන්ම මතිමතාන්තර සමාජය පුරා පැතිර යන බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බලා කරුණු පැහැදිලි කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අපි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.

ලෝක තැපැල් දින සැමරුමේ සංවත්සරික මුද්දර ලෙස අගමැතිගේ හා අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් කළ බවට පළවන පුවත් ව්‍යාජ බව ඒ මහතා පැවසීය. 150 වෙනි ලෝක තැපැල් දින සංවත්සරය වෙනුවෙන් විශ්ව තැපැල් සංවිධානවල විධි විධානවලට අනුව වෙනත් පින්තූර සහිත මුල්දින කවර දෙකක් සහ මුද්දර දෙකක් නිකුත් කෙරුණු බව නියෝජ්‍ය තැපැල්පතිතුමා පැවසීය. මෙම සංවත්සරික උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර දෙකක් ද නිකුත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම මුද්දර දෙක පුද්ගලකාරක මුද්දර වන බවත් එය සංවත්සරය සඳහා නිකුත් කළ මුද්දරය නොවන බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කරුණු පැහැදිලි කළේය. පුද්ගලකාරක මුද්දර ඕනෑම අයෙකු වෙනුවෙන් නිකුත් කරන ඒවා බවත් එදින ප්‍රධාන ආරාධිතයන් ලෙස අගමැතිතුමිය හා අමාත්‍යතුමා පැමිණීම හේතු කොට ගෙන එලෙස පුද්ගලකාරක මුද්දර දෙකක් සමරු තිළිණ වශයෙන් නිකුත් කළ බව නියෝජ්‍ය තැපැල්පති තුමා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධව තැපැල්පතිතුමාගේ අත්සන සහිතව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද අපට හමුවිය. මෙවර තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ හෝ විජිත හේරත් අමාත්‍යතුමාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

තවද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලෝක තැපැල් දින සංවත්සරය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ සංවත්සරික මුද්දර ද්විත්වයේ ඡායාරූප පහතින් දැක්වේ.

මේ අනුව තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ සහ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් කළ බවට පළවන සටහන් මහජනතාව නොමග යවන ආකාරයේ ඒවා බව පැහැදිලිය.

නිගමනය : ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැති හරිනි අමරසූරියගේ සහ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිතව පළ කළ මුද්දර පුද්ගලකාරක මුද්දර වන අතර ලෝක තැපැල් දින සැමරුම් මුද්දර නොවේ. මේ අනුව ඒ දෙපලගේ රුව සහිත මුද්දට නිකුත් කළ බවට පළවන සටහන් මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.