Hashtag Generation

“වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධවයි” යන සිරස්තලය සහිත ජාතික ජන බලවේගයේ ලිපිය ව්‍යාජයි.

ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතාගේ නම, අත්සන හා ශිර්ෂය යොදා ගනිමින් කොළඹ ආසිරි රෝහලේ අධ්‍යක්ෂකවරයාට යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. නමුත් එම ලිපිය සමාජ මාධ්‍ය තුළ පළ කර ඉතා කෙටි වෙලාවකින් ඉවත් කර ඇත.

මෙම ලිපියේ සදහන් වන්නේ ආසිරි රෝහල සදහා මෙය යොමු කර ඇත්තේ සුනිල් වටගල මහතා බවයි. එම නිසා සුනිල් වටගල මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් කරුණු විමසුවේය. ඔහු අප හට පිළිතුරු ලබා දුන්නේ එය ව්‍යාජ ලිපියක් බවත් මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ කොමිසමට ඔහු පැමිණිලක් ඉදිරිපත් කරන බවයි.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමක් කළ අතර මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බව ඔහු තහවුරු කළේය. ජාතික ජන බලවේගයෙන් මෙවැනි ලිපියක් නිකුත් නොකළ බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය. 

නීතිඥ සුනිල් වටගල මහතාගේ පෞද්ගලික අත්සන සහිත සියලු තොරතුරු ඇතුළත් රාජකාරි ලිපියක් ඔහු අප හට ලබා දුන් අතර එම ලිපියේ සහා ව්‍යාජ ලිපියේ සඳහන් අත්සන් වෙනස් වේ. එමෙන්ම ව්‍යාජ ලිපියේ ඔහුගේ නම සහ තනතුරු සඳහන් කර ඇති ආකාරයද නිවැරදි නොවේ. පුද්ගලයෙකුගේ අත්සන යනු පෞද්ගලික තොරතුරක් බැවින් එය අප මෙහි සඳහන් කර නැත. අප සතුව ලිපි ද්විත්වයම පවතින බැවිත් ලිපි ද්විත්වයේ ඇත්තේ වෙනස් වූ අත්සන් දෙකකි.

නිගමනය : “වෛද්‍ය ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධවයි”  යන සිරස්තලය සහිත ලිපිය ව්‍යාජ ලිපියක් වේ. සුනිල් වටගල මහතා සහ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතා එය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරල ලදි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න