Hashtag Generation

ශ්‍රී ලංකාවේ වර්තමාන අගමැතිනියගේ විශේෂ ලේකම්වරියෙක ලෙස හසනා සේගු ඉසඩීන් පත් කළාද?

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් 23 වනදා දිවුරුම් දීමෙන් පසු නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය පත් කරනු ලැබුවේය. ඇය අගමැතිනිය ලෙස පත් වීමෙන් පසු නව ලේකම්වරුන් පිරිසක් පත් කර ඇත. ලේකම්වරුන් පත් වීමෙන් පසු බොහෝ පිරිසක් එම තනතුරු පිළිබඳව විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇත. එවැනි ආකාරයට බෙදාගෙන ඇති සටහනක තිර ජායාරූපයක් පහතින් දැක්වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ දැක්වෙන්නේ අගමැතිනියගේ විශේෂ ලේකම්වරියක් ලෙස හසනා සේගු ඉසඩීන් පත් කර ඇති බවයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහන් බෙදා ගැනීම හේතුවෙන් අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කරණු ලැබුවේය. ඒ සදහා අප අගමැති හරිනි අමරසුරියගේ පෞද්ගලික ලේකම්තුමිය වන ශ්‍යාමලි පෙරේරා මහත්මියගෙන් කරුණු විමසීමක් සිදු කරණු ලැබීය. 

ඇය පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අකාරයට  විශේෂ ලේකම්වරියක් ලෙස හසනා සේගු ඉසඩීන් පත් කර නොමැති බවයි. ඇයව පත් කර ඇත්තේ අගමැතිනියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් බව පෞද්ගලික ලේකම්වරිය තහවුරු කළේය.

අප මේ පිළිබඳව හසනා  සේගු ඉසඩීන් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් කරුණු විමසීමක් සිදු කරනු ලැබීය. ඇයගේ පිළිතුරු වූවේ “ මාගේ තනතුර ලබා දීමෙන් පසු කවුරුන් හෝ විසින් දෙමළ භාෂාවෙන් සමාජ මාධ්‍ය වල මේ පිළිබඳව සටහනක් බෙදාගෙන තියෙනවා , ඉන් පස්සේ ඒ සටහන ඉංග්‍රිසී භාෂාවට පරිවර්තනය කිරීමේදි Special යන වචනය පරිවර්තනය වෙලා තියෙන්නේ ඉංග්‍රිසී භාෂාවේ Special යන වචනයට සිංහල භාෂාවේ යොදා ගන්නේ විශේෂ කියන පදය නිසා මගේ තනතුර විශේෂ ලේකම් තනතුර කියලා , ආයේ සිංහල භාෂාවෙන් සමාජ මාධ්‍ය වල බෙදාගෙන තියෙනවා, ඇත්තටම මට ලැබුනේ විශේෂ ලේකම් තනතුරක් නෙවෙයි මට ලැබුනේ අගමැතිතුමියගේ සම්බන්ධීකාරක ලේකම් තනතුර, අගමැතිතුමිය ට දැනට සිටින්නේ ලේකම්වරුන් තිදෙනෙක් පමණයි. ඒ මාධ්‍ය ලේකම්, පෞද්ගලික ලේකම්, සම්බන්ධීකාරක ලේකම් විදියට. ඒ තනතුරු වලින් මට ලැබුනේ සම්බන්ධීකාරක ලේකම් තනතුර මට විශේෂ ලේකම් තනතුරක් ලැබුනේ නෑ. සමාජ මාධ්‍ය වල යන්නේ වැරදි තොරතුරක් . මේ අකාරයට ඇයගේ තනතුර සම්බන්ධ තොරතුරු අපට ඇය තහවුරු කර සිටියේය.

තව දුරටත් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සදහා අප අගමැතිවරියගේ මාධ්‍ය ලේකම්වරිය වන S.විජිතා මහත්මියගෙන් කරුණු විමසීමක් සිදු කළේය. ඇයද තහවුරු කරනු ලැබුවේ හසනා සේගු ඉසඩීන් පත් කර ඇත්තේ විශේෂ ලේකම්වරයෙක් වශයෙන් නොව සම්බන්ධීකරණ ලේකම් වරියක් වශයෙන් බවයි.

නිගමනය : අගමැති හරිනි අමරසුරියගේ විශේෂ ලේකම්වරියක් වශයෙන් හසනා සේගු ඉසඩීන් පත් කර නොමැත. ඇයව පත් කර ඇත්තේ සම්බන්ධීකරණ ලේකම්වරියක් වශයෙන් බව අප කළ කරුණු විමසීමකදී තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න