Hashtag Generation

සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශයක් කළාද?

“සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළ ප්‍රකාශයක් බව සඳහන් කරමින් පුවත්පතක පළ වූ සිරස්තලයක ආකාරයේ  සටහනක් ෆේස්බුක් තුළ සංසරණය විය. 

තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆේස්බුක් (Facebook) තුළ සංසරණය වූ සටහන්වල තිර ඡායාරූප (screenshots) කිහිපයක් පහතින් දැක්වේ.

මෙම සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව පළමුවෙන්ම මේ ආකාරයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පුවත් වාර්තා කර ඇත්දැයි විමසා බැලිණි. එහිදී 2024 ජූනි 29 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසනයේ ජන රැලියක් අමතමින් තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළ මේ ආකාරයේ ප්‍රකාශයක් අපට හමුවිය. “සමලිංගික නීතිය නීතිගත කරන්නේ නැති පුද්ගලයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් ජනරැළිය අමතමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශයක් කර තිබුණි. එම සිරස්තලය පාදක කරගනිමින් සිරස News 1st පුවත සහිත වීඩියෝවක් ⁣පළ කර තිබුණි. 

සමලිංගික පුද්ගලයකු අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා වෙනත් ප්‍රකාශ සිදුකර තිබේදැයි විමසා බැලූ අතර එවැනි ප්‍රකාශ අපට හමු නොවිණි. 

ඒ අනුව තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළා යැයි සඳහන් ප්‍රකාශය ඇතුළත් සටහනට පාදක වී ඇත්තේ 2024 ජුනි 29 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සමුළුවේදී සිදුකළ කතාව බව පැහැදිලි විය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන සමුළුව පසුගිය ජුනි 29 වැනිදා පැවැත්විණි. එම සමුළුවේ සජීවී විකාශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිළ යූ ටියුබ් නාලිකාවේ  පළ කර තිබුණි. එහි පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළ කතාවේ දී  “සමලිංගික නීතිය නීතිගත කරන්නේ නැති පුද්ගලයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් ප්‍රකාශයක් සිදු කරනු ලබයි. (තිස්ස කුට්ටිආරච්චි මහතා සිදුකළ සම්පූර්ණ කතාවට මෙතැනින් පිවිසෙන්න. මෙහි මිනිත්තු 48යි තප්පර 47 දී ඉහත ප්‍රකාශය ඇතුළත් ය.) එම ප්‍රකාශය මුල් කර ගනිමින් “සමලිංගිකයින්ට පොහොට්ටුවේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ.” යනුවෙන් සඳහන් සටහන නිර්මාණය වී ඇති බව පැහැදිලිය. 

එමෙන් ම ජුනි මාසයේ අවසාන සති කිහිපය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා පැවතුණි. 

“සමලිංගික නීතිය නීති ගත ගත කරන්නේ නැති පුද්ගලයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි කළ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ සිදුවූ සාකච්ඡා හේතුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

තවද මෙම සටහන පුවත්පතක සිරස්තලයක ආකාරයෙන් නිර්මාණය වී ඇති නිසා ජූනි 30 වෙනිදා පළ වූ ප්‍රධාන පුවත්පත් කිහිපයකම මෙම පුවත ඇත්දැයි විමසා බැලිණි. නමුත් එම කාල සීමාව තුළ පළ වූ ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල සිරස්තලයක් ලෙස මෙම පුවත පළවී නොතිබුණි. ඒ අනුව මෙහි ඇති පුවත්පතක සිරස්තල ආකෘතිය සංස්කරණය කරන ලද්දක් බවට අනුමාන කළ හැකිය.

ඒ අනුව තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළ බව සඳහන් “සමලිංගිකයින්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බව” ඇතුළත් ප්‍රකාශය මහජනතාව නොගමඟ යවන බව පැහැදිලිය. 

නිගමනය: “සමලිංගිකයින්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශයක් සිදු කර නැති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ “සමලිංගික නීතිය නීති ගත කරන්නේ නැති කෙනා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙනි. ඒ අනුව සංසරණය වු සටහන මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න