Hashtag Generation

“සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීති අහෝසි කළ යුතු” බවට අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර නැත.

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් බව සදහන් පුවත්පත් ලිපියක් සහිත සටහනක් ෆේස්බුක් මාධ්‍ය තුළ මෑතක දී සංසරණය විය.

එහි සඳහන්ව තිබුනේ “සිංහල ජාතියට පමණක් වරප්‍රසාද දෙන නීති අහෝසි කළ යුතුයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක” යනුවෙනි. 

එම සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනුර කුමාර දිසානායක ඔහු නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය නොව, ඔහු නායකත්වය දෙන දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගයෙන් තරඟ කරනු ලබයි.

නමුත් මෙහි දී ඔහු ජවිපේ නායකයා ලෙස හඳුන්වා ඇති බැවින් මෙම පුවත්පත් ලිපිය මෑත කාලීනව පළ වූවක් නොවන බව අනුමාන කල හැක. 

නමුත් ජනාධිපතිවරණය ආසන්නයේ දී මෙවැනි පුවත් මගින් ජනතාව හා ඔවුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් ඇති කල හැකි බැවින් හෑෂ්ටැග් පරපුර මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට තීරණය කළේය.

මෙම පුවත්පත් ලිපිය සහිත සටහන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් ගෙන් විමසනු ලැබිණි.

එහි සඳහන් ආකාරයේ කිසිදු ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක මහතා සිදු නොකළ බවත් එම පුවත්පත් සටහන මීට වසර කිහිපයකට පෙර පුවත්පතක පළ වූ ලිපියක් වන බවත්, එහි ශීර්ෂ පාඨය වෙනස් කොට නිර්මාණය කර සංසරණය කර ඇති බවත් ඔහු පැවසීය. 

මේ පිළිබඳව අන්තර්ජාලය හරහා කළ විමසීමේදී අනුර කුමාර දිසානායක සිදු කළ බව සඳහන් ප්‍රකාශය සහිත සටහන පිළිබදව මීට වසර කිහිපයකට පෙර 2020 වසරේ දී කරන ලද කරුණු පරීක්ෂාවක් හමු විය. 

ඒ අනුව 2019 වර්ෂයේ ජුනි 05 වන දින අද පුවත්පතේ පළ වූ ලිපියක් මෙසේ සංස්කරණය කර සංසරණය කර ඇති බවත්, මින් පෙරද මෙම සටහන සමාජ මාධ්‍ය තුල සංසරණය කර ඇති බව පැහැදිලි විය. 

2019 වර්ෂයේ ජුනි 5 වෙනිදා අද පුවත්පතේ පළ වූ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය සහිත ලිපියේ සිරස්තලය සහ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ලිපිය සහිත සටහනේ සිරස්තලය එකිකෙනට වෙනස් ය.  අද පුවත්පතේ පළ වී ඇති සිරස්තලයේ “එක් එක් ජන කොට්ඨාස මත ක්‍රියාත්මක වන නීති අහෝසි කළ යුතුයි- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක” යනුවෙන් සඳහන් වේ.

එම පුවත්පත් ලිපියේ තිරඡායාරූපයක් පහතින් දැක්වේ.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන,වසර කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපිය පදනම් කර ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති බව පැහැදිලිය.

නිගමනය : 2019 වසරේ ජුනි 05 වෙනිදා අද පුවත්පතේ පළ වූ “එක් එක් ජන කොට්ඨාස මත ක්‍රියාත්මක වන නීති අහෝසි කළ යුතුයි” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් “සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීති අහෝසි කළ යුතුයි” යනුවෙන් ව්‍යාජ ලෙස සකසා  පසුගිය දා   සමාජ මාධ්‍යවල සංසරණය විය. ඒ අනුව එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න