Hashtag Generation

ෂම්මි සිල්වා 34 වැනි ඉල්මහ විරු සමරුවේ ප්‍රධාන දේශකයා නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව පවත්වන ‘ඉල්මහ විරු සමරුව’ මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ දී නොවැම්බර් මස 13 වැනිදා පැවැත්විණි. එය මෙවර පැවැත්වුණේ 34 වැනි වරට ය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර ඇතුළු 88/89 කාලයේ දී මියගිය එම පක්ෂයේ සාමාජිකයන් සිහිපත් කරමින් මෙය පැවැත්වේ. 

‘ඉල්මහ විරු සමරුව’ පැවැත්වීමට පෙර එහි  ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස ශ්‍රි ලංකා  ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැමිණීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් සංසරණය වී තිබුණි. එම පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

තවත් තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ  සංවිධානය කළ ‘ඉල්මහ විරු සමරුවට’ ඔහු සහභාගී වී නොසිටි අතර ‘ඉල්මහ විරු සමරුවේ’ සජීවී පටිගත කිරීමට  මෙතැනින්, මෙතැනින් පිවිසෙන්න. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ අතර එහිදි ෂම්මි සිල්වා මහතා සත්‍ය වශයෙන්ම පැමිණීමට නියමිතව තිබුණා ද? කුමන හෝ හේතුවක් මත ඔහුට එදින සහභාගි වීමට නොහැකි වුවා ද ? එසේ නොමැතිනම් මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණ වු පණිවුඩය අසත්‍යයක් ද යන්න සොයා බැලීය. 

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන්  මහතාගෙන් විමසීමක් කළේය. මෙලෙස පළවන කිසිදු  තොරතුරක් සත්‍ය නොවන බව අප කළ විමසීමේදී උපුල් රංජන් මහතා පැවසීය. 

උත්සවය සඳහා කිසිදු දේශකයකුට ආරාධනා නොකළ බවත් එය පැවැත්වූයේ  පක්ෂ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් බවත් ඔහු පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ෂම්මි සිල්වා මහතා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවැසූ ද උපුල් රංජන් මහතා මෙවැනි අසත්‍ය පණිවුඩවලට නොරැවටෙන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. 

මේ ආකාරයට ම ෂම්මි සිල්වා මහතා, ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන්නේ යැයි සඳහන් කරමින් ද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් ද විමසා සිටී අතර මෙයද අසත්‍ය පණිවුඩයක් බවත් ෂම්මි සිල්වා මහතා කිසිදු විටක ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වා නොමැති බවත්  රංජන් මහතා පැවැසීය. 

මේ ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය ඉලක්ක කරගනිමින් විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) තුළ අසත්‍ය තොරතුරු සංසරණය වන ආකාරය දක්නට ලැබිණි. එවැනි ෆේස්බුක් සටහන් (Facebook Posts) කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ. 

නිගමනය : ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව පසුගිය 13 වැනිදා පැවැත්වුණු අතර එයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහභාගී වී නොමැත. ජනතා විමුක්ති පෙරමුණ ෂම්මි සිල්වා මහතාට ඒ සඳහා ආරාධනයක් ද කර නොමැත. ඒ අනුව ඉල්මහ විරු සමරුවේ ප්‍රධාන දේශකයා ෂම්මි සිල්වා යනුවෙන් සඳහන් ෆේස්බුක් සටහන් අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.