Hashtag Generation

2024 නොවැම්බර් මස 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට දඬුවම් ලබා දෙන බව විජිත හේරත් මහතා පැවසුවාද?

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වෙනිදා පවත්වන බව ගැසට් මගින් මේ වන විට ප්‍රකාශ කර ඇත. ඒ සමගම වර්තමාන රජයේ ක්‍රියා කලාපය පිළිබඳව බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පණිවුඩ සංසරණය වීමේ වැඩි වීමක් නිරීක්ෂණය වේ. එවැනි අකාරයට මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ කර නිර්මාණය වූ සමාජ මාධ්‍ය සටහනක් මෙම සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට පසුව සමාජ මාධ්‍ය තුල සංසරණය විය. එම පණිවුඩයේ තිර ජායාරූපයක් පහතින් දැක්වේ.

අප ඉහත සටහනේ දැක්වෙන ආකාරයේ යම් ප්‍රකාශයක් ආමාත්‍ය විජිත හේරත් පවසා ඇත්ද යන්න සොයා බැලුවේය. 

එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව සහ පාස්කු ප්‍රහාරය මෙන්ම මහ බැංකු වංචාව සම්බන්ධව ද විජිත හේරත් මහතා සිදු කල ප්‍රකාශයක් අපට සොයා ගැනීමට හැකි විය. එම ප්‍රකාශය අන්තර්ගත වුවේ 2024/10/01 දින පැවැත්වූ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේය.

එම මාධ්‍ය හමුවේදි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ “මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට නොගියේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මුක්තියේ බලය පාවිච්චි කිරීම නිසා බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ජනාධිපති මුක්තියක් හිමි නොවන බැවින් අධිකරණය හමුවට ගෙන ඒමට බාධාවක් නැති බව යි.” 

සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වන සටහන් වල සඳහන් වන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතාට නොවැම්බර් 14 වෙනි දා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දඬුවම් ලබා දෙන බවට ආමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශයක් මෙහි අන්තර්ගත නොවීය.

නිගමනය : නොවැම්බර් 14 දින පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට  දඬුවම් ලබා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා නැත. ඔහු පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය හමුවට හැකි ඉක්මනින්  රැගෙන එන බව පමණයි. එයද නොවැම්බර් 14 දිනට පෙර සිදු කර බව ප්‍රකාශ කරන්නේ නැත. ඒ අනුව  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන ව්‍යාජයි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න