Hashtag Generation

2024 තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කළාද ?

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ය. ඊට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස 11 වැනිදා සහ 12 වැනිදා අමතර දින නම් කර තිබේ. 

2024 තැපැල් ඡන්දය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදනය පහතින් දැක්වේ.

තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4 වැනිදා උදෑසන 9.00 ආරම්භ වූ අතර පස්වරු 4.00 ට ඡන්ද විමසීම අවසන් විය. ඒ ආකාරයෙන් ම සැප්තැම්බර් 5 සහ 6 දිනවලද ඡන්ද විමසීම පැවැත්වේ. 

තැපැල් ඡන්ද විමසීම ආරම්භ වී පැය කිහිපයක් යත් ම සමාජ මාධ්‍ය තුළ තැපැල් ඡන්දයට අදාළ සාවද්‍ය ප්‍රකාශ රැසක් නිරීක්ෂණය කළ හැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබිණි. 2024 තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමක් මෙතෙක් සිදු කර නැති බව ඔහු පිළිතුරු ලබා දුන් අතර ඔහු තව දුරටත් තහවුරු කර සිටියේ තැපැල් ඡන්ද ගණන් කිරීම සහා ප්‍රතිඵල නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ සැප්තැම්බර් 21 වෙනිදා බවයි. එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අප ඉන්පසුව මෙවැනි අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්න පුද්ගලයින් සම්බන්ධයෙන් නීතීමය පැතිකඩකින් කටයුතු කළ හැකිද යන්න කරුණු විමසීමක් සිදු කරනු ලැබීය.

ඒ සදහා අප මුලින්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සම්බන්ධීකරණ ලේකම් රිසාන් එම්.ඒ.හමීඩ් මහතාගෙන් කරුණු විමසීමක් සිදු කළේය. ඔහු අපට පවසා සිටියේ එවැනි ව්‍යාජ පුවත් සංසරණය කරන පුද්ගලයින් හට නීතීය ක්‍රියාත්මක කිරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි. එම නිසා සැප්තැම්බර් 21 වනදා නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කරන තෙක් කිසිදු ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඡන්ද ගණන් කිරීම ආරම්භ වීම 21 වනදා සිදු කරන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිණි මාධ්‍යන්වල එය නිවේදනය කරන බව ඔහු තව දුරටත් පවසා සිටියේය.

මෙවැනි නිල නොවන  තොරතුරු බෙදා ගැනීම මැතිවරණ කාලසීමාවකදී කළ හැකිද යන්න තව දුරටත් කරුණු විමසීමක් සිදු කළේය. අප ඒ සදහා නීතිඥ සහා මැතිවරණ විශ්ලේෂක ඩී.එම්.දිසානායක මහතාගෙන් කරුණු විමසන ලදි. ඔහුද අපට පිළිතුරු ලබා දුන්නේ සියලු මැතිවරණ ප්‍රතිඵල ගණන් කිරීම සහා ප්‍රතිඵල නිකුත් කරනු ලබන්නේ සැප්තැම්බර් 21 වනදා බවයි. තවද මෙවැනි තොරතුරු බෙදා ගැනීම නීතීමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු තව දුරටත් පවසා සිටියේය.

ඉන් පසුව අප මෙවැනි අසත්‍ය තොරතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන්ද කරුණු විමසීමක් සිදු කළේය. ඔහු අප හට පවසා සිටියේ නිළ නොවන වශයෙන් මෙවැනි පණිවුඩ බෙදා ගැනීමට කිසිවෙකුට නොහැකි බවයි. එවැනි ආකාරයෙන් කටයුතු කරන්නන් හට නීතීය ක්‍රියාත්මක කළ යුතු බවට පැෆ්රල් සංවිධානය ද මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කළ බව ඔහු පවසා සිටියේය.

නිගමනය : 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රකාශ කිරීම සිදු වන්නේ සැප්තැම්බර් 21 වනදා බව මැතිවරණ කොමිසම තහවුරු කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.