Hashtag Generation

ජාතික ජන බලවේගයේ පිරිසක්, වාහන ධාවනයට බාධා වන ආකාරයෙන් මාර්ගයේ හැසිරුණාද?

මෙම මැතිවරණ සමය තුළ විවිධ දේශපාලන පක්ෂ අරමුණු කරගනිමින් විවිධ පුවත් සමාජ මාධ්‍යවල සංසරණය වනු බහුලව දැකගත හැකිය. 

ජාතික ජන බලවේගයේ පිරිසක් විසින් නීතිය අතට ගෙන මාර්ගයේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බව සඳහන් සටහනක් සමඟ හිරු නාලිකාවේ පුවත් විකාශයක වීඩියෝවක් පසුගියදා වට්ස්ඇප් මාධ්‍ය තුළ සංසරණය විය.

එලෙස සංසරණය වූ සටහන සහිත වීඩියෝවේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

“අද BIA (Bandaranayake International Airport ) තත්ත්වය දෙස බලන විට, මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් පෙර Npp/Jvp මෝඩයන් නීතිය අතට ගෙන මහා විනාශයක් කිරීමට උත්සාහ කරන ආකාරය කෙතරම් අවුල් සහගතද? මොකක්ද මේ, ඇයි මෙහෙම කරන්නේ? Jvp ට බය වෙලා ජීවත් වෙන්න ඕනෙද” යන්න වීඩියෝව සහිත සටහනේ දක්වා තිබුණි. 

“කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගය තුළදී පොලිසියට අද පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා.ඒ ප්‍රදේශවාසීන් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන පරීක්ෂා කිරීමට ලක් කරමින් සිටින අතරතුර එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමගයි” යනුවෙන් පුවත් විකාශය සහිත වීඩියෝවේ සඳහන් වේ. තවද පුවත් විකාශයේ අතුරු සිරස්තලයක් ලෙස “ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වෙයි” යනුවෙන් ද දක්වා ඇත.

මැතිවරණ කාල සීමාව තුළ මෙවැනි සිදුවීම් සහිත වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යෑම, ජනතාව තුළ ප්‍රකෝපකාරී බලපෑමක් ඇති වීමට තුඩු දිය හැකිය. එබැවින් මේ පිළිබඳව කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

මෙහි සඳහන් සටහන වට්ස්ඇප් මාධ්‍ය තුළ හුවමාරු වූ කාල සීමාව තුළ මෙවැනි පුවතක් හිරු නාලිකාවේ විකාශනය වී ඇද්දැයි විමසා බැලිණි. මේ කාල සීමා තුළ එවැනි වීඩියෝවක් සහිත පුවතක් දැකගත නොහැකි විය. 

තවද මෙම වීඩියෝවේ අතුරු සිරස්තලයක් ලෙස “ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වෙයි” යනුවෙන් සඳහන් වීම නිසා එම වීඩියෝව මේ කාලයට අයත් නොවූවක් බව නිගමනය කළ හැකිය. මන්ද දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය කාලවකවානුව තුළ පොලිස්පති වශයෙන් කටයුතු කළ අතර වර්තමානය වන විට ඔහුගේ එම ධූරය අත්හිටුවා ඇති බැවිනි.

ඒ අනුව මෙම වීඩියෝව කුමන කාල සීමාවකට අයත් වීඩියෝවක් ද යන්න විමසා බැලිණි. එය 2022 වර්ෂයේ අරගලය පැවති සමයේ එනම් 2022 මැයි 10 වෙනිදා විකාශනය වූ පුවතකට අදාළ සිදුවීමක් බව තහවුරු විය. 

මේ සම්බන්ධව තවදුරටත් විමසා බැලීමේදී පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක් ද අප වෙත හමුවිය. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

 

පැරණි වීඩියෝ භාවිතා කරමින් ඊට ජනතාව තුළ ප්‍රචණ්ඩකාරී හැඟීම් සහ භීතිය මුසු හැඟීම් දවන ආකාරයේ සටහන් දක්වමින් තවදුරටත් මෙවැනි දේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට හැකියාව ඇත. කෙසේ නමුත් විචාරශීලී පුද්ගලයෙකු ලෙස එවැනි දේ සමාජ මාධ්‍ය හරහා තවකෙකුට බෙදා ගැනීමට පළමුව විමසා බලා කටයුතු කරන ලෙස අපි මහජනතා⁣වගෙන් ඉල්ලා සිටින්නෙමු.

නිගමනය : ජාතික ජන බලවේගයේ පිරිසක් විසින් මාර්ගය අවහිර කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන සිදුවීමක් බව සඳහන් වීඩියෝවක් සහ සටහනක් වට්ස්ඇප් තුළ සංසරණය විය. එම සහිත වීඩියෝව අරගල සමයේ විකාශනය වූ පුවත් විකාශයකින් ගෙන ඇති බව තහවුරු විය. ඒ අනුව එම වීඩියෝව සහිත සටහන මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.