Hashtag Generation

“Daraz” ආයතනයට සේවකයන් බදවා ගැනීමේ දැන්වීම් සියල්ල ව්‍යාජයි.

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතනයක් වන Daraz ආයතනයෙන් රැකියා අවස්ථා තිබෙන බව සඳහන් කරමින් ෆේස්බුක් (Facebook)  ඔස්සේ දැන්වීම් විශාල ප්‍රමාණයක් හුවමාරු වන ආකාරය ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණි. මෙලෙස ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ බොහෝමයක් අනුග්‍රාහක දැන්වීම් (sponsored) යැයි ද නිරීක්ෂණය විය.   විශේෂයෙන්ම එම දැන්වීම් මුදල් ගෙවා හුවමාරු කරන ලද අනුග්‍රාහක දැන්වීම් බව අපට එහි නිරීක්ෂණය විය. 

එලෙස හුවමාරු වූ ෆේස්බුක් (Facebook) දැන්වීම්  කිහිපයක තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

‘අපි කුලියට ගන්නවා’ , ‘දෛනික වැටුප 1000 – 5000 , 5000 – 50,000’ ආදී විවිධ ආකාරයෙන් Daraz සමාගමේ නම සඳහන් කරමින් යනුවෙන් විවිධ ෆේස්බුක් පිටු හරහා මෙම සටහන් හුවමාරු වන ආකාරයක් දක්නට ලැබිණි. 

ඊට අමතරව දැන්වීම් ආකාරයේ මෙම ෆේස්බුක් සටහන් පළ කර ඇති ෆේස්බුක් පිටු (Facebook Pages) මෑතකදී පටන් ගෙන ඇති ෆේස්බුක් පිටු බව ද නිරීක්ෂණය විය.

Daraz පාරිභෝගික සේවා අංශයට දුරකතන ඇමතුමක් ලබා දී හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. 

“මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ බවත්, ‘Daraz’ ආයතනයේ නම අවභාවිත කරමින් මෙසේ සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන් කිසියම් වෙනත් අරමුණිනකින් මෙවැනි දෑ කරන බවත්” අප වෙත පිළිතුරු දුන් ‘Daraz’ ආයතනයේ නිලධාරියෙක් පැවැසීය. යම් පුද්ගලයකුට ‘Daraz’ සමඟ සේවය කිරීමට අවශ්‍ය නම් ‘Daraz’ ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා ඔවුන්ට අයඳුම් කළ හැකි බව ද එම නිලධාරියා පැවැසී ය. 

සමාජ මාධ්‍ය හරහා මෙවැනි ව්‍යාජ දැන්වීම්, ව්‍යාජ තොරතුරු සහ ප්‍රවෘත්ති මේ දිනවල නිරන්තරයෙන් හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි අතර එවැන්නක් ඔබට ලැබුණහොත් මුලින්ම කළ යුත්තේ ඒවායේ ඇති සබැඳි (link) මත ක්ලික් (click) නොකිරීම ය. තමන්ට ලැබෙන පණිවුඩ සම්බන්ධයෙන් සියයට සියයක විශ්වාසයක් නොමැති නම් සහ ඒවා මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගෙන නැතිනම් මෙවැනි පණිවුඩ වෙනත් අය සමඟ හුවමාරු (share) කරගැනීමෙන් වැළැකී සිටිය යුතු ය. එමෙන්ම කිසිදු සොයා බැලීමකින් තොරව වෙනත් පාර්ශවවලට ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් ද වැළැකී සිටිය යුතු ය. 

නිගමනය :  ‘Daraz’ ආයතනයේ රැකියා අවස්ථා යනුවෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සියලුම සටහන් ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය. ඒවා වෙනත් පාර්ශවයක් විසින් මුදල් ගෙවා පළ කර ඇති අනුග්‍රාහික වෙළෙඳ දැන්වීම් වන අතර  ‘Daraz’ ආයතනය එවැනි දෑ පළ කර නොමැත. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.