Hashtag Generation

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින කිහිපයේදී දක්නට ලැබිණි. රටේ පවතින තත්ත්වයත් නිරන්තරයෙන් පැවැත්වෙන උද්ඝෝෂණත් හේතුවෙන් ඊට අදාළව සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙන අයුරු නිරීක්ෂණය විය.

එලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වූ ප්‍රවෘත්ති කිහිපයක තිර ඡායාරූප(Screenshots) පහතින් දක්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක කොටසක් දැක්වෙන විඩියෝවක් ද ඉහත සිරස්තලය සමඟ සංසරණය වෙමින් තිබිණි. අදාළ විඩියෝ නැරැඹීමේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු මස 7 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ කතාව බව නිරීක්ෂණය විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාවට මෙතැනින් , මෙතැනින්. අදාළ සිරස්තලයටත් එවැනි කතාබහකටත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ එක් කොටසක් හේතු වී ඇති බව නිරීක්ෂණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවේ අදාළ සිරස්තලයට සහ කතාබහට හේතු වූවා යැයි නිගමනය කළ හැකි කොටස පහතින් දැක්වේ.

“සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවල විවිධ මාර්ග ඔස්සේ කඩාකප්පල් කළහොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.

ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේ ම සාමකාමීව ඒ පිළිබද වැඩ කටයුතු කරන්න,රැස්වීම් පවත්වන්න, පෙළපාලි පවත්වන එක කිසිම ප්‍රශ්නයක් නෙමේ. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්ට යනවනම් ඒ පිළිබද මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මං කියන්ට කැමති. ඒක කරන්ට යනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශයේ දී උද්ඝෝෂණ පැවැත්වීම තහනම් යනුවෙන් කිසිදු අවස්ථාවකදී සඳහන් කරන්නේ නැත.

උද්ඝෝෂණවලට අදාළව පවතින නීතිමය තත්ත්ව සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර, නීතිඥ ලුවී නෙරන්ජන් ගනේෂදාසන් මහතාගෙන් විමසීය.

“උද්ඝෝෂණ පැවැත්වීමේ නිදහස යම් යම් අවස්ථාවලදී හදිසි නීති රෙගුලාසි හෝ පාර්ලිමේන්තු අණ පනත්වලින් තුළින් සීමා කරන්න පුළුවන්. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර [1978ට පෙර] සිට පැවති පොලිස් ආඥා පනත වැනි නීති තුලින් යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී යමක් කිව්ව පළියට ඒක නීතියක් වෙන්නේ නෑ. එවැනි යමක් බලාත්මක කරන්න අවශ්‍ය නම් ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන භාවිත කරන්න අවශ්‍ය යි” යැයි ඔහු පැවැසීය.

නිගමනය: ‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්’  යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන් මහජනතාව නොමඟ යවයි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.